தமிழ்
English
Contact
Monday 8th March 2021    
ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ගෙන්වීමට අවශ්‍ය මූලික අවසරයවත් තවම ලබාගෙන නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ගෙන්වීමට අවශ්‍ය මූලික අවසරයවත් තවම ලබාගෙන නැහැ



කොරෝනා මර්දන එන්නත් මෙරට තුළ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇති බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ the morning පුවත්පතට පවසා තිබේ.

කෙසේ වෙතත් අනුමැතිය ඉල්ලූ එන්නත් මොනවාද යන්න මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ද වෛද්‍ය කමල් ජයසිංහ ප්‍රකාශ කර ඇත.

ඔහු පවසන්නේ ඖෂධ නියාමන අධිකාරිය ඉක්මණින් තම තීරණය දැනුම් දෙනු ඇති බවයි. එසේම වෛද්‍ය කමල් ජයසිංහ පවසා ඇති පරිදි එක් එන්නතකට අනුමැතිය ලබාදීමට අවශ්‍ය ලිපි ලේඛණ තවමත් ලැබී නොමැත.

එසේම ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා ඇත්තේ එන්නතකට අනුමැතිය ලබාදීමේදී එන්නත් ගබඩා කිරීමට සහ ප්‍රවාහනයට පහසුකම් තිබේද යන්න ගැන සළකා බැලීම ඖෂධ නියාමන අධිකාරියේ කාර්යක් නොවන බවයි. නමුත් ප්‍රමාණවත් පහසුකම් යටතේ ගබඩා කිරීම සහ ප්‍රවාහනය කරනවාද යන්න සොයා බැලීම කළ හැකි බව ඔහු පවසයි.

ඉන්දියාව මේ වනවිට තම රටේ නිෂ්පාදිත කොවිඩ් එන්නත වෙනත් රටවලට අපනයනය කිරීම අරඹා තිබේ. එහි පළමු අදියර වශයෙන් භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට මේ එන්නත බෙදා හැරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ලංකාව මෙම පළමු අදියර බෙදා හැරීමේ ඇතුළත් නොවීමට හේතු සාධක වශයෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළු ඇෆ්ගනිස්ථානය සහ මුරිසිය එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය නියාමන අවසරයන් තවමත් ලබා දී නොමැති බවයි.

කෙසේවෙතත් පසුගියදා ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් මෙරට සංචාරයක නිරතවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ හමුවී එරට නිෂ්පාදනය කර තිබෙන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණි. එසේම චීනයේ නිෂ්පාදිත එන්නත මෙරටට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.

නමුත් මෙවැනි දේ පවසන්නේ එන්නත් මෙරටට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර පවා සම්පූර්ණ කිරීමෙන් තොරව බව පැහැදිලි වේ.