தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ලංකාවෙ යුද්ධයෙන් දෙපැත්තෙන්ම 8000 වත් මැරුණෙ නෑ - මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී බොරු කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවෙ යුද්ධයෙන් දෙපැත්තෙන්ම 8000 වත් මැරුණෙ නෑ – මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී බොරු කියයි!



2009 තම ආණ්ඩුව සමයේ අවසන් කළ යුද්ධයේදී මියගිය හමුදා භටයන් හා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියල්ලම සළකා බැලුවත් 8000කට අඩු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයාට හිතවත් ඉන්දිය දේශපාලනඥයකු වන භාරතිය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි විසින් සංවිධානය කළ රැස්වීමක දේශනයක් කරමින් ඔහු විසින් මෙසේ ප්‍රකාශ කර තිබුණි.

යුද්ධය නිසා 40000ක් පමණ මියගිය බවට ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය සහ ද්වේශසහගත බව පවසමින් හිටපු ජනාධිපතිවරයා තමන් විසින් කළ ගණනය කිරීම් ලෙස දෙපාර්ශ්වයෙන්ම මිය ගිය ගණන 8000ක්වත් නැති බව පවසා තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් යුද්ධය අවසන් කළ අවස්ථාවේ ප්‍රකාශයක් කරමින් ‘මානුෂික මෙහෙයුමක්‘ ලෙස හදුන්වන ලද යුද්ධය අවසන් කිරීමේදී සිවිල් වැසියන් කිසිවකු මිය නොගිය බව පවසා තිබිණි. එහෙත් යුද හමුදාව විසින් පසුව කළ අනාවරනවලදී සාමාන්‍ය ජනයා මරණයට පත් වූ අවස්ථා සදහන් කරන ලදී. ඉන්දිය වේදිකාවක සිට යුද්ධයේදී මිය ගිය මුලු සංඛ්‍යාව 8000ක්වත් නැති බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ කුමන සංඛ්‍යා ලේඛන මූලාශ්‍ර කරගෙනදැයි ඔහු සදහන් කර නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි 2012 වසරේදී ‘යුද හමුදාවේ සංඛ්‍යා ලේඛන‘ පදනම් කරගෙන ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පළ කළ තොරතුරු අනුව වුවද මියගිය සංඛ්‍යාව 9000ක් විය. එහෙත් එක්සත් ජාතින්ගේ එවකට මහලේකම් බැන් කී මුන් විසින් සිය විශේෂ කමිටුවකින් සකස් කළ දත්ත ඇසුරින් ලංකාවේ යුද්ධය අවසන් වනවිට 40,000ක් මිය ගිය බවට වාර්තාවක් පළ කරන ලදී. එය එවකට ආණ්ඩුවේ විවේචනයට ලක් වුවද බැන් කීමුන් මහලේකම්වරයාට නිල වශයෙන් විරෝධය පළ කර සැබෑ තත්වය සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව අසමත් විය.

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ධුරය දැරූ ඔහුගේම සොයුරා ගෝඨාභය රාජපක්ටෂ අනුවද මහින්ද කීවේ අසත්‍යයකි. ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අවසාන වූ පසුව පැවති රූපවාහිනි සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ 1981 සිට 2009 මැයි 18 වැනිදා දක්වා සොල්දාදුවන් 23,790ක් මිය ගිය බවකි. අවසාන යුද්ධ මෙහෙයුම් ලෙස ඔහු හැදින්වූ 2007 මාවිල් ආරු මෙහෙයුමේ සිට 2009 මැයි 18 දක්වා කාලය තුළ යුද, නාවික, ගුවන් හමුදාවන්ගේත් පොලිසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ 6261ක් මිය ගිය බව ඔහු එහිදී හෙළි කර තිබිණි. කෙසේවෙතත් මෙම යුද්ධයේදී ප්‍රතිවාදී තමිල් සටන්කාමින් කොපමණක් මිය ගොස් ඇද්ද යන්න ඔහු ප්‍රකාශ කළේ නැත. එහෙත් එල්ටීටීඊ සංවිධානය විසින් 2009 නොවැම්බර් මාසයේ ප්‍රකාශ කළේ 1982 මිය ගිය සිය පළමු සන්නද්ධ සාමාජිකයාගේ සිට යුද්ධය අවසන් වනවිට සාමාජිකයන් 22,000ක් මිය ගිය බවකි.

යුද්ධය නිසා මිය ගියේ හමුදා භටයන් මෙන්ම එල්ටීටීඊ ඇතුළු තමිල් සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් පමණක් නොවන බව යුද්ධයක් ගැන සාමාන්‍ය අදහසක් ඇති අයට පවා වැටහෙන කාරණයකි. සාමාන්‍ය වැසියන් මෙවැනි දිගු කාලීන සිවිල් යුද්ධයේ අවාසානවන්ත ගොදුරුය. ගැටුමට ඍජුව සම්බන්ධ වූ සන්නද්ධ හමුදා සහ තමිල් සටන්කාමීන් සියලු දෙනා සළකා බලන විටද මිය ගිය ගණන තවමත් නිසි ලෙස ගණනය කර නැති බව සත්‍යයකි. ඒ යුද්ධයේදී මියගිය හා මරාදැමුවන් පමණක් නොව අතුරුදන් කරවූවන් තමන් විසින් වගකිව යුතු මිනිසුන් ලෙස සළකා බැලීමක් කරන්නට පවා වසර 10ක් ආසන්න වන අද දවසේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙන්ම වර්තමාන පාලකයන්ට උවමනාවක් නැති බව පැහැදිලිය. ඒ වෙනුවට පටු දේශපාලන අපේක්ෂා වෙනුවෙන් රට තුළදී හෝ වෙනත් රටකදී අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නට ඔවුන්ට කිසිදු ලජ්ජාවක් නැත.