Posted on 08.17.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට ලංකාවේ ජනතා අරගල මර්දනය කිරීමේ තත්වය තුළ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තා වෙමින් පවතින් බව ජනතා වෘත්තික මධ්‍යස්ථානය පවසයි.
පසුගිය කාල සීමාව තුළ විවිධ තරාතිරමේ සමාජ කණ්ඩායම් මානව හිමිකම් කඩවීමේ ඉලක්කයක්ව පැවති අතර විශේෂයෙන් ගොවි, ධීවර හා දෛනික ආදායම් ලබන ජනයා මෙම තත්වයට ගොදුරු විය. රෝහල්වල සේවය පතන ජනතාවද පාසල් දරුවන්ද මෙසේ මානව හිමිකම් කඩවීමේ ඉලක්ක බවට පත්ව සිටි අතර ආණ්ඩුවට විරෝධය පළ කරමින් මාස ගණනක් පැවති අරගලය මර්දනය කිරීමේ ආණ්ඩුවේ පියවර නිසා මෙම තත්වය වඩාත් බරපතළ වී ඇත.
මෙම බරපතළ තත්වය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ ‘ජනතා වෘත්තික මධ්‍යස්ථානය’ විසින් සකස් කරන ලද වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සියලු මානව හිමිකම් සංවිධාන වෙත යොමු කර ඇත.
ජනතා අරගලයට සම්බන්ධ වූ ක්රියාකාරිකයන් පැහැර ගෙන යාමේ ස්වරූපයෙන් සිදු කරන අත්අඩංගුවට ගැනීම්, හදිසි නීතිය ඇතුළු මර්දන නීති ක්‍රියාත්මක කිරීම්, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීම් ආදී ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳ පසුගිය මාස කිහිපයේ වාර්තා වූ සිදුවීම් රාශියක් මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.
එසේම, විශ්ව විද්‍යාල විවෘත නොකිරීම, පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතියට බාධා පැමිණීම, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ මූලික ගැටලු නොවිසඳීම නිසා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වීම මෙන්ම කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගැටලු මෙම වාර්තාවට ඇතුළත්ව තිබේ.
https://fb.watch/eYQ5ovxSiC/