தமிழ்
English
Contact
Friday 22nd November 2019    
ලලිත් - කුහන් නඩුවට ගෝඨාගේ සාක්ෂි පිළිබඳ අභියාචනාධිකරණ විභාගය ඔක්. 31 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලලිත් – කුහන් නඩුවට ගෝඨාගේ සාක්ෂි පිළිබඳ අභියාචනාධිකරණ විභාගය ඔක්. 31



ලලිත්-කුහන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් ගොඨාභය රාජපක්ෂ සාක්ෂි සඳහා කැඳවීම වළක්වමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය නීතියට පටහැනි බවට කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය අභියාචනාධිකරණය හමුවේ කළ ඉල්ලීම විභාගයට ගැනීමට ඔක්තෝබර් 31 වැනිදා දින නියම වේ.

ලලිත්-කුහන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ගොනුකළ හබයාස්කෝපුස් පෙත්සම සඳහා විභාගවන නඩුව සඳහා සාක්ෂිදීමට ගෝඨාභය රාජපක්ෂ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවීම වාරණය කරමින් එම නියෝගය ලබා දෙන ලදී.

ඔක්තෝබර් 24 දින සිට දෙසැම්බර් 3 දක්වා මාසයකටත් වැඩි කාලයක් සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කැදවීම වළක්වමින් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර විසින් ලබාදුන් නියෝගය අභියාචනාධිකරණය විසින් මින් පෙර ලබාදුන් නියෝගයට පටහැනි බව දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

ඊට අදාළ පෙත්සම්කාරරපාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් ලලිත් කුමාර් විරරාජු සහ කුහන් මුරුගානන්දන් යන දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් විභාගකර වාර්තාකරන ලෙස යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝගකර ඇත්තේ අභියාචානධිකරණය විසින් බව පෙන්වා දුන් නීතිඥ බෝපගේ එම අධිකරණ විභාගයට අවශ්‍ය සාක්ෂිකරුවකු කැඳවීම වාරණය කිරීම අභියාචනාධිකරණයේ නියෝගයටම පටහැනි බව එහිදී කරුණු දක්වන ලදී.

එසේම පෙත්සම්කාර පාර්ශ්වය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ හබයාස්කෝපුස් පෙත්සමට අදාළව ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටින වාරණය සළකා බැලීමේදී පෙත්සම්කාර පාර්ශ්වයට නොතීසි නිකුත් කිරීමට කටයුතු නොකිරීමෙන් ද පෙත්සම්කාර පාර්ශ්වයට අයුක්තියක් සිදුව ඇති බවද නීතිඥවරයා කරුණු දක්වන ලදී.

එසේම අභියාචනාධිකරණය විසින් වාරණයක් නිකුත් කිරීමේදි සාමාන්‍යෙයන් සති දෙකක කාලයක් එසේ නියෝග නිකුත් කරන නමුත් ගෝඨාභය රාජපක්ෂ මහෙස්ත්‍රාත් අධිකරණයට කැදවීම වළක්වමින් ලබාදුන් වාරණ නියෝගය මාස 1 1/2ක කාලයක් තරම් දීර්ඝ කාලයක් වීමද
අයුක්තියක් බව පෙන්වා දෙන ලදී.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි රජයේ නීතිඥවරුන් ඔක්තෝබර් 24 අදාළ ඉල්ලීම සළකා බලන අවස්ථාවේ කරුණු දක්වමින් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටින වාරණය ලබාදීමට විරෝධය පළ කළ නමුත් එය අභියානාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර එය සැළකිල්ලට නොගත් බව සහ අවම වශයෙන් ඒ බව නඩු වාර්තාවේ සඳහන්ව නොමැති බවට කරුණු දක්වන ලදී. එම කරුණින් පෙනී යන්නේද පෙත්සම්කාර පාර්ශ්වයේ අවාසියට බලපාන අයුක්තියක් සිදුවන බව යැයි පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන ලදී.

මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අභියාචනාධිකරණයට කරුණු දැක්වූ නීතිඥ රෝමේස් ද සිල්වා පැවසුවේ තම සේවාදායකයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ යාපනය නගරයට යාම ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් බව සහ පෙත්සම්කාර පාර්ශ්වය මතුකරන කාරණයට අදාළව ගෝඨාභය රාජපක්ෂගෙන් සාක්ෂි විමසීමක් අදාළ නොවන බවය.

කෙසේවෙතත් පෙත්සම්කාර පාර්ශ්වයෙන් කරුණු දක්වා සිටියේ යාපනයට යාමට ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව පැවසීම පදනම් විරහිත බවත් ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යාපනයට යන බවය. එසේම අතුරුදන්කිරීම සිදුවන අවස්ථාවේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස ඔහුගේ සාක්ෂිය වැදගත් වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ලබාදුන් සාක්ෂිය අනුව ලලිත් හා ගුහන් අත්අඩංගුවේ පසුවන බවට තොරතුරු ලබා දී තිබුනේ ආරක්ෂක කවුන්සිලයෙන් බවද පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නුව්න බෝපගේ කරුණු දක්වන ලදී. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදිය යුතු අත්‍යවශ්‍ය සාක්ෂියක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ලබාගැනීමට නොහැකිවන ආකාරයට අභියාචනාධිකරණයේ වාරණ නියෝගය බලපා ඇති බව පෙන්වා දෙන ලදී.

එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කරුණු දක්වමින් රොමේෂ් ද සිල්වා නීතිඥවරයා ඉල්ලා සිටියේ ජනාධිපතිවරණයට පසුව දිනයක මෙම ඉල්ලීම සළකා බලන ලෙසය. එහෙත් නීතිඥ නුවන් බෝපගේ අවධාරණය කර සිටියේ මෙම ඉල්ලීම සළකා බැලීම අතිශය වැදගත් කරුණක් ලෙස සළකන ලෙසත් අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුලු විනිසුරු මඩුල්ලක් මේ ඉල්ලීම සම්බන්ධ සළකා බැලීම කළ යුතු බවය.

ගෝඨාභය රාජපක්ෂ විසින් අවස්ථා දෙකකදී පිළිගත නොහැකි ආකාරයට සාක්ෂි ලබාදීම මගහැර සිටින බවත් ජනාධිපතිවරණය අවසානයේ ඔහු ජනාධිපතිධුරයට පත්වුවහොත් කිසිදාක එම අධිකරණ සාක්ෂිය ලබාගන්නට නොහැකිවනු ඇති බැවින් පෙත්සම්කාර පාර්ශ්වයට එයින් අයුක්තියක් සිදුවන බවද පෙන්වා දෙන ලදී.

මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ඔක්තෝබර් 31 වැනිදා කරුණු සළකා බලන්නට ලබාදුන් තීරණය ජයග්‍රහණයක් ලෙස හඳුන්වාදුන් පෙ.සප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ‘ලංකාවීව්ස්‘ වෙත අදහස් දක්වමින් කියා සිටියේ අතුරුදන් කිරීම් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන් හෙධිදරව් කිරීමට පෙ.ස.ප. ආරම්භක අවස්ථාවේ සිට ගෙන ගිය අරගලය ඉදිරියටත් අඛන්ඩව ගෙන යන බවත් අසාධාරණ නීති හා මර්දනකාරී තත්වයන් සිදුවන අවස්ථාවක ඊට යටත් නොවී අරගල කිරීම හැර ජනතාවට යුක්තිය ලබාගැනීමේ අන් මගක් නොමැති බව මෙම අධිකරණ ක්‍රියාවලිය විසින්ද පෙන්වා ඇති බවත් ඔහු පැවසීය.