தமிழ்
English
Contact
Friday 15th November 2019    
ලලිත් හා කුහන් අතුරුදන්කිරීම - ගෝඨාභය අභියාචනාධිකරණයේ හැංගෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලලිත් හා කුහන් අතුරුදන්කිරීම – ගෝඨාභය අභියාචනාධිකරණයේ හැංගෙයි!



ලලිත් හා කුහන් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවට යන්නට අවශ්‍ය නැති බව පවසා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය අධිකරණය ඉදිරියට නොයන ලෙස නියෝගයක් නිකුත් කිරීමකට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක සාක්ෂිකරුවක් ලෙස පෙනී නොසිට පිළිගත නොහැකි හේතු දැක්වීමෙන් පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට නොයා හැංගීමට දරණ උත්සාහයක් බවටද අදහස් මතුවී තිබේ. මේ බව ප්‍රකාශ කෙරුණේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් අද(24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

පෙ.ස.ප. ක්‍රියාකාරිකයන් දෙදෙනකු පැහැරගෙන යාමේ හා අතුරුදන් නිරීමේ සිදුවීම පිළිබඳ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙන හබයාස් කෝපුස් පෙත්සමට අදාළව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. අතුරුදන් කළවුන් සම්බන්ධ චෝදනා මහින්ද රාජපක්ෂ පාලනයට එද්දී එවකට රාජ්‍ය ආරක්ෂක අංශවලට ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල වූ අතර ලලිත් හා කුහන් යන දෙදෙනා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වගකිවයුතු බවට සාක්ෂි ලැබිණි. 2011 දෙසැම්බර් 09 වැනිදා අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජු කලක් ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා විය. එවකට ඇතිවූ දේශපාලන ඛණඩනයෙන් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුල් සංවිධාන ආකාරය වූ ‘ජන අරගල ව්‍යාපාරය’ වෙනුවෙන් යාපනයේ එක්ව සංවිධාන කටයුතු කරමින් සිටියදී ඔහු සහ එම ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වූ කුහන් මුරුගානන්දන් අතුරුදන් කර තිබිණි. ඔවුන් අවසන්වරට ගමන් ගත් යතුරු පැදිය පසුව පොලිසිය භාරයේ තිබූ සොයාගන්නා ලදී.

මේ අතුරුදන්වීම මහත් ආන්දෝලනයකට ලක්ව මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා එල්ලවත්ම එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල 2011 දෙසැම්බර් 15 දින මාධ්‍ය හමුවකදී එම පැහැරගැනීමේ සිදුවීම ගැන අදහස් පළ කළේය. ඔහු කීවේ ලලිත් හා කුහන් අතුරුදන්ව හෝ පැහැරගෙන නැති බවත් පොලිසිය හෝ හමුදාව විසින් ඉක්මනින්ම අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. එහෙත් ඉන්පසුව ඒ සම්බන්ධ කිසිදු විධිමත් ප්‍රකාශයක් හෝ අධිකරණ කටයුත්තක් ආණ්ඩුවෙන් සිදුකර නැත. මේ නිසා එම දෙදෙනා වෙනුවෙන් හබයාස් කෝපුස් පෙත්සම් විභාගයක් කරන්නට ඥාතින් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. මෙම හබයාස් කෝපුස් පෙත්සමේ සාක්ෂිකරුවන් ලෙස එවකට ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම්කරනු ලැබ තිබේ.

මේ සම්බන්ධව පෙ.ස.ප. මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ කළ ප්‍රකාශයෙන් උපුටාගත් කොටස් පහත පළ වේ.

“කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට කැඳවා විමසීමක් කරන ලෙස කළ ඉල්ලීම අනුව ඔහුට 2015 වසරෙදි අධිකරණයෙන් දැනුම්දීම් කළත් පෙනී නොසිටි නිසා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කියලා මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නමුත් පොලිසිය එසේ අත්අඩංගුවට ගැනීමක් කළේ නෑ. නමුත් කෙහෙළිය රඹුක්වැල්ල 2016 මැයි 13 අධිකරණයට පැමිණ ප්‍රකාශ කළේ ‘ලලිත් හා කුහන් දෙදෙනා අතුරුදන් වෙලා නෑ, ආරක්ෂක අංශ භාරයේ ඉන්නවා’ කියන ප්‍රකාශය කලේ එවකට ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු අනුව බවයි. ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිදුවීමක් නිසා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කැඳවා මේ ගැන විමසන්න කියලා. ඔහුගේ ප්‍රකාහය අනුව මේක ආරක්ෂක අංශවලින් කළ පැහැරගැනීමක් සහ ඉන්පසුව අතුරුදන් කිරිමක් බව පැහැදිලියි. ඒ නිසාත් ආරක්ෂක මන්ඩලය මේ සම්බන්ධ තොරතුරු දැන සිටි බව ප්‍රකාශ වූ නිසාත් ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධ යමක් දැන සිටිය යුතුයි. ඒ අනුව 2018 අවුරුද්ද දක්වා වෙනත් සාක්ෂි කැඳවලා 2019 ජනවාරි 11 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්ව කරුණු දක්වන්න කියලා ගෝඨාභය රාජපක්ෂට දැනුම් දෙනු ලැබුවා. ඔහුට පැමිණෙන් ලෙස ලබාදුන් පළමුවැනි දිනය වුණේ 2019 මැයි 3 වැනිදා. එදින ඔහුගේ නීතිඥයන් අධිකරණයට පැමිණි ප්‍රකාශ කළේ පෞද්ගලික අපහසුතාවක් මත ඇති වූ හේතුවක් නිසා ගෝඨාභය රාජපක්ෂට අධිකරණයට පැමිණිය නොහැකි නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. ඒ නිසා ජූනි 21 වැනිදා දින ලබාදුන්නත් එදින වෛද්‍ය වාර්තාවක් සමග නීතිඥයන් පැමිණ ප්‍රකාශ කළේ සාක්ෂිකරු අසනීපව විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට පැමිණීය නොහැකි බවයි. ඒ නිසා තුන්වැනි වතාවට සැප්තැම්බර් 27 වැනිදා ගෝඨාභයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙස දින ලබා දුන්නා. නමුත් අද (24) ගෝඨාභයගෙ නීතිඥයන් අභියාචනාධිකරණයට ගිහින් ඉල්ලීමක් කර තිබෙනවා, ආරක්ෂක තත්වයක් සහ නිසා මෙම නඩු කටයුත්තට සම්බන්ධයක් නැති නිසාත් මෙම අධිකරණය හමුවේ පෙනී සිටීම අත්හිටුවන නියෝගයක් ලබා දෙන ලෙසට. මාස 8ක් තිස්සේ අධිකරණය මගහරිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ නඩුවට දින තුනක් තිබියදී අධිකරණයෙන් මගහැර යාමට අභියාචනාධිකරණයෙන් පිහිට පතලා. මේ මාස 8දි නොතිබුනු ආරක්ෂක ප්‍රශ්නයක් දැන් මතු වෙලා. මාස 8 පුරාම අධිකරණය මගහැර යාමට වෙනත් හේතු ඉදිරිපත් කරපු ඔහුට දැන් තමයි මේ නඩුව සම්බන්ධයක් නැති නඩුවක් බව කියන්න මතක් වෙලා තියෙන්නෙ. පසුගිය නඩු දිනවල ඇයි ඔහු නීතිඥයන් හරහා මේ තරුණු යාපනය අධිකරණයට දැනුම් නොදුන්නෙ?

පාලු ගෙයි වලං බිඳිනව වගේ මේ නඩුවෙ එක් පාර්ශ්වයක් පමණක් අභියාචනාධිකරණයට ගියාම ගෝඨාභයගේ පාර්ශ්වයට අධිකරණයේ පෙනී සිටීම වළක්වන නියෝගයක් ලැබී තිබෙනවා. පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්කිරීම සම්බන්ධ කරුණු දක්වන්න සාක්ෂිකරුවකුට මහේස්ත්‍රාත් අධිකරණය මගහැර සිටීමට අභියාචනාධිකරණයකින් නියෝග ලැබිලා. මේ ඉල්ලීම විභාගයට ගන්නා අවස්ථාවෙදිම එක් විනිසුරුවරයෙක් ඉවත් වෙලා තියෙනවා, මොකද අධිකරණයේ පෙනී සිටීම වළක්වන්න අධිකරණයෙන්ම නියෝග කිරීමක් ඉල්ලා සිටින නිසා. නමුත් ශ්‍රීපාලි විජේසුන්දර විනිශ්චයකාරවරිය තීරණය කර තිබෙනවා, ඔක්තෝබර් 3 නඩුව කැඳවන්නත් මහේස්ත්‍රාත් අධිකරණයේ සැප්තැම්බර් 27 නඩුවට සාක්ෂිකරු ලෙස ගෝඨාභය යා යුතු නැති බවටත් අධිකරණ තීන්දුවක් ලැබිලා තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මේ නඩුවේ විත්තිකාර පාර්ශ්වය ලෙස චෝදනා ලබා නෑ. ඔහු අවශ්‍ය වෙන්නෙ මේ පුද්ගලයන් දෙදෙනා අතුරුදන්කිරීමේ සිදුවීමට අදාළ ආරක්ෂක කවුන්සිලය දැන සිටි කරුනු අධිකරණයේ ඉදිරිපත්කරන්නටයි. එහෙම කරුනු අනාවරණය කර නිදොස්බව පෙන්වන්න ඉඩකඩ තිබියදී ඔහු අධිකරණයට විවිධ හේතු දක්වා මාස 8ක්ම මගහැර ගියා. මේ වතාවෙදිත්
මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගහැර හැංගිලා ඉන්න අභියාචනාධිකරණය ඉදිරියට ගිහිල්ලා. අබ කෑ මිනිහගෙ මොළේ දනවා කියලා කියමනක් තියෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරණය කියලත් අධිකරණය මගහැර යාමේ උත්සාහයක් මේ අරගෙන තියෙන්නෙ. අපිට ජනාධිපතිවරණය ප්‍රහ්නයක් නෑ. 2011 සිටම මේ අතුරුදන් වූ සහෝදරවරු දෙදෙනා වෙනුවෙන් යුක්තිය අපේක්ෂාවෙන් අපි අරගලයක නිරතව ඉන්නවා. නමුත් ආරක්ෂක හේතු සහ වෙනත් හේතු දක්වමින් මේ උත්සාහ කරන්නෙ ජනාධිපතිවරණය දක්වා අධිකරණයෙන් මගහැර කට්ටි පැනීමටයි. මේ වතාවෙදි අභියාචනාධිකරණයේ පිහිටෙන් හැංගෙන්න තමයි උත්සාහ කරන්නෙ.

මේ ආකාරයට මේ රටේ අධිකරණය සම්බන්ධ විශ්වාසය ඔවුන් විසින්ම බිඳදමමින් සිටිනවා. අපිට නම් මේ ධනේශ්වර අධිකරණයේ යුක්තිය සම්බන්ධ අවබෝධයක් තිබෙනවා. නමුත් ඔවුන් විසින්ම අධිකරණයේ විශ්වාසනීයත්වය පත්ව තිබෙන තැන අනාවරණය කරමින් ඉන්නවා. කොහොම වුණත් පුද්ගලයන් දෙදෙනකුගේ ජීවිත සම්බන්දයෙන් යුක්තිය ඉටුකරගැනීමේ අරගලයේ අපි ඉදිරියටත් පෙනී සිටිනවා සහ ගෝඨාභය රාජපක්ෂ ප්‍රචාරක රැස්වීම්වල කියන නීතියේ හා විනයේ ඇත්ත තත්වය මෙතැනදි හොඳින්ම අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් දෙදෙනකුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්න නොහැකිව පැන යන්නෙ ඇයි? නීතිය හා විනය කොහේද කියලා ගෝඨාභය ඔප්පු කරමින් ඉන්නවා.”