தமிழ்
English
Contact
Friday 14th May 2021    
ලාංකික තමිල් සාහිත්‍යයේ 'මැක්සිම් ගෝර්කි' නිහඬ විය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකික තමිල් සාහිත්‍යයේ ‘මැක්සිම් ගෝර්කි’ නිහඬ විය!



ලාංකීය තමිල් සාහිත්‍යකරුවන් අතර ප්‍රමුඛතමයකු වූ ඩොමිනික් ජීවා ඊයේ(28) අභාවයට පත්විය.

94 හැවිරිදි මෙම ජ්‍යෝෂ්ඨ ලේඛකයා, අඩසියවසක තරම් කාලයක් තමිල් භාෂිත පාඨකයන් වෙත ‘මල්ලිහෙයි’ ප්‍රකාශනය මගින් ලබාදුන් සම්ප්‍රදානය කිසිදා නිසි ඇගයුමකට ලක්ව නැත.

පීඩිතයන් අතර දිළිඳුකම ආදී පොදු ජීවන දුෂ්කරතා හා සමානව තමිල් සමාජයේ පවතින කුල පීඩනය පදනම් කරගෙන පුවත්පත් ලේඛනය මෙන්ම ප්‍රබන්ධකරණයට යොමු වූ ඔහු 1960 දසකයේ ‘තන්නීරුම් කන්නීරුම්’ නම් කෙටිකතා සංග්‍රහය පළ කරමින් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනමින් මෙරට සාහිත්‍ය සමාජයේ අවධානයට පාත්‍ර විය. තමිල් සමාජයට සිංහල භාෂිත ලේඛකයන් සහ ඔවුන්ගේ විශිෂ්ට කෘති හඳුන්වා දීමේදී ඔහු නියමු මෙහෙවරක් ඉටුකරන ලදී.
කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු ලෙසද කටයුතු කළ ඔහු ලාංකික තමිල් සාහිත්‍යයේ ‘මැක්සිම් ගෝර්කි’ ලෙස ගෞරවයක් දිනා සිටියේය.

1983 යුද්ධය ආරම්භ වීමෙන් පසුව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරිත්වය තුළ පවා ලිවීම අත්හැරියේ නැත. තර්ජන හමුවේ යාපනයේ සිට කොළඹ පදිංචියට පැමිනි ඔහු උත්සාහ කළේ ‘මල්ලිහෙයි’ සඟරාව දිගටම ප්‍රකාශයට පත් කිරීමටය.

සිය ජීවිත කාලයේ පරමාදර්ශයන් ලෙස සමාජවාදී ජයග්‍රහණ පිළිබඳ සුන් වූ බලාපොරොත්තු ඇතිව වුවද දිගටම සාහිත්‍ය කටයුතුවල නිරතවූ ඔහු ජීවත්ව සිටියදී නොලැබූ ජයග්‍රහණ මෙන්ම නොලද ඇගයුම් සහිතව අවසන් හුස්ම වාතලයට එක්කර ඇත.

පවතින වසංගත තත්වය හේතුවෙන් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ අවමංගල්‍ය සීමිත සහභාගිත්වයකින් පැවැත්වීමට ඥාතීන් විසින් කටයුතු කරනු ඇත.

ඩොමිනික් ජීවා විසින් සංස්කරණය කළ ‘මල්ලිකෛ’ ප්‍රකාශනය