தமிழ்
English
Contact
Monday 6th July 2020    
ලාංකික සිසුන්ගෙන් වැඩි මුදලක් අයකරන්නෙ වියදම් වැඩි නිසා - ශ්‍රීලන්කන් ගුවන් සමාගම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකික සිසුන්ගෙන් වැඩි මුදලක් අයකරන්නෙ වියදම් වැඩි නිසා – ශ්‍රීලන්කන් ගුවන් සමාගම



ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒමේදී එම ගුවන් ගමනට වැය වන වියදම අනුව ඔවුන්ගෙන් මුදලක් අය කෙරන බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන් ක‍්‍රියාත්මක කරන ලද ගුවන් ගමන වෙනුවෙන් මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කර ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වී ඇතත් එසේ වැඩි මුදලක් අය කිරීමට සිදුව ඇත්තේ මුළු පිරිවැය අඩු මගීන් සංඛ්‍යාවක් අතර බෙදී යාම හේතුවෙන් බවද එම ගුවන් සමාගමේ ප‍්‍රකාශකයෙක් ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරනුයේ අදාළ සිසුන් සහ ඔවුන්ගේ දෙමාව්පියන් රජයෙන් කළ ඉල්ලීමක් අනුව වන අතර ඒ වෙනුවෙන් වැයවන පිරිවැය සම්බන්ධයෙන් එම දෙමාපියන් දැනුවත් කර කැමැත්ත ලබාගෙන තිබෙන බව ද එම ප‍්‍රකාශකයා සදහන් කර ඇත. මෙම සිසුන් නොමිලයේ ගෙන්වන බවට රජය හෝ ගුවන් සමාගම ප‍්‍රකාශ කර නැතැයිද ඔහු ප‍්‍රකාශ කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනට පියාසර නොකරන ගමනාන්ත වෙත ගමන් කරන විට, ගොඩබෑම, ගුවන් යානා නැවැත්වීම, භූමිය හැසිරවීම යනාදී මෙහෙයුම් පිරිවැය, සැපයුම්කරුවන් සමඟ සේවා ගිවිසුම් නොමැති විට පවත්නා මිල ගණන් යටතේ එය දැරීමට සිදුවීම ආදිය නිසා වෙනත් ගුවන් ගමන්වලට සාපේක්ෂව මෙම ගුවන් ගමන් වෙනුවෙන් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බව ද ඔහු පවසා ඇත.

බොහෝ ගුවන්තොටුපලවල් වසා දමා තිබීම නිසා ආපසු පැමිණීමේ දී ආහාර සැපයීමේ සේවා සහ බලාපොරොත්තු නොවූ ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා ගොඩබිම් සේවා සංවිධානය කිරීම වෙනුවෙන් කොළඹ සිට ඉන්ධන පවා රැගෙන යාමට සිදුවන අතර මෙම ගුවන් ගමන් සදහා අධික පිරිවැයක් දැරීමට වන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

කොවිඞ්-19 තත්ත්වය යටතේ සිදුවන ගමන්වලදී කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂණ උපකරණ භාවිතා කිරීම, ගැඹුරු පිරිසිදු කිරීම, මතුපිට මීදුම ඉවත් කිරීම් සහ ගුවන් යානා විෂබීජ හරණය ආදිය සිදුකළ යුතු බැවින් වියදම් තවදුරටත් ඉහළ යන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

කෙසේවෙතත් ආණ්ඩුව හෝ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම සිසුන් ගෙන්වීමේදී නොමිලේ ගෙන්වන බව පැවසූ බව සත්‍යක් වුවත් ආණ්ඩුව මගින් ඒ සඳහා සිදුකළ ප්‍රචාර හරහා ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කරේ ඔවුන් මෙය නොමිලේ සිදුකරන බවයි. එසේම මුදල් අයකිරීම ගැන එල්ලවූ ජනතා විරෝධයේ සඳහන් වුනු මූලික කාරණයක් වූවේ කොරෝනා වසංගතය මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව දේශීයව සහ විදේශීයව ලැබෙමින් පැවති අරමුදල් මේ සඳහා බාවිතා නොකළේ ඇයිද යන්නයි.