தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ලොව පුරා ක්‍රියාත්මක ගැටුම් නවත්වා සටන් විරාම ක්‍රියාත්මක කරන්න - එක්සත් ජාතීන්ගේ මහ ලේකම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලොව පුරා ක්‍රියාත්මක ගැටුම් නවත්වා සටන් විරාම ක්‍රියාත්මක කරන්න – එක්සත් ජාතීන්ගේ මහ ලේකම්



වහා ක්‍රියාත්මක වන පරිදි ගෝලීයව ක්‍රියාත්මක යුධ ගැටුම් නවතා සටන් විරාමයක්’’ ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී කෙටි කතාවක් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.

එහිදි එක්සත් ජාතීන්ගේ ප්‍රධානීයා කිසිදු රටක් හෝ සංවිධානයක් පිළිබඳ විශේෂ සඳහනක් නොකළ අතර යුද ගැටුම් පවතින ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අවදානම් ඇතැයි පෙන්වා දුන්නේය.

‘‘කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. එය ආයුධ සන්නද්ධ යුද්ධයකට වඩා විශාල යුද්ධයක්. මම අද මෙතැනට ආවේ ඒ නිසයි. මේ තත්ත්වය හේතුවෙන් මම ලෝකයේ සෑම කොනකම තිබෙන ගැටුම් නවතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෝලීය සටන් විරාමයක් ප්‍රකාශ කරන්නැයි මා ඉල්ලා සිටිනවා’’ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවැසීය.

වසර දහයක් මුළුල්ලේ සිවිල් යුද්ධයකට මුහුණ දී සිටින සිරියාවෙන් ද ඉකුත් දා පළමු කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු වාර්තා විය. යුද ගැටුම් පවතින කොංගෝ ජනරජයෙන් මෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.

යුද ගැටුම් පවතින බොහෝ රටවල් දුප්පත් මෙන්ම දුර්වල සෞඛ්‍ය පද්ධති තිබෙන රටවල් යැයි විශේෂඥයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පෙන්වාදෙති.

එසේම රටවල්වල බොහොමයක යුධ ගැටුම් නිසා සරණාගත භාවයට පත්ව ඇති ජනතාව අවම පහසුකම් යටතේ එකම ප්‍රදේශයක ජීවත්වීම නිසා රෝගය ඉතා වේගයෙන් පැතිරයාමේ අවධානමක් පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දී ඇත.