වත්මන් දේශපාලන අර්බුදයට මුහුණදෙන්නේ කෙසේද? – පෙ.ස.ප. ජනතාව දැනුම්වත් කරයි
Posted on 10.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ නෙරපා හැර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම්දීමත් සමග උද්ගතව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැලසුම් කර තිබේ.
එහි පළමු පියවර ලෙස වත්මන් දේශපාලන අර්බුදය පිලිබඳ අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් අද (31) සවස 4.00ට කොළඹ, කොටුව, දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත බව පෙ.ස.ප. ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ජනමාධ්‍ය වෙත පවසයි. මේ වනවිටත් ජීවිත පවා බිලි ගන්නා තත්වයක් දක්වා මෝරා ඇති මේ බලඅරගලය තුළ ජනතාව ගත යුතු ස්ථාවරයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ වැඩසටහන් ගණනාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබේ. නගර ආශ්රිත සම්මන්ත්රණ, ගම්මාන පදනම් කරගත් ජනහමු, පත්‍රිකා බෙදීම් සහ වෙනත් ප්රචාරක වැඩසටහන් ඊට ඇතුලත් බව පෙ.ස.ප. ප්රචාරක ලේකම්වරයා පවසයි.