தமிழ்
English
Contact
Thursday 1st October 2020    
වතුකම්කරුවො දවසකට දාහක් ඉල්ලනවා, ඒක දුන්නම සේරම හරිද? - මුරලිගෙන් අමුතු කතාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකම්කරුවො දවසකට දාහක් ඉල්ලනවා, ඒක දුන්නම සේරම හරිද? – මුරලිගෙන් අමුතු කතාවක්



මුත්තයියා මුරලිදරන් මෑතකදී මාධ්‍ය තුළ විවිධ අදහස් පළ කරමින් අවධානයට ලක් විය. ඔහු ‍දේශපාලනයට එන බවට අදහස් පැතිර ගියේද මේ පසුබිම තුළය. මේ ඔහු ලංකාවේ පළවන Malayaga Kuruvi වෙබ් අඩවිය සමග කළ සංවාදයක සිංහල පරිවර්තනයයි.

දෙමළෙන් කතා නොකරන බව මුරලිට චෝදනා කළේ දෙමළ සමාජය ය. අන්තිමට මුරලි දෙමළ සමාජයට දෙමළෙන් කතා කළේ ය. මලයග කුරුවි වෙබ් අඩවිය ඒ කතාව වාර්තා කළේ ය. මුරලි දෙමළ සමාජයට දෙමළෙන් කී කතාව සිළුමිණ මෙසේ සිංහලට නඟන්නේය. ඒ මුරලි විදිහට හිතන්නට හැකිනම් මේ සමාජය මොනතරම් අපූරු එකක් වේදැයි ඔබට කියන්නට ය.

මුලින් ම මම දෙමළ කතා කරනවද කියලා අහපු ප්‍රශ්නයට උත්තර දීලා ඉන්නම්. මම ඉගෙනගත්තේ දෙමළ මාධ්‍යයෙන්. මම ගෙදරදී කතා කරන්නෙත් දෙමළෙන්. සමහර අය මං ගැන කට කතා පතුරුවනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මම දෙමළ ජාතිකයෙක්..

මම අවුරුදු හයේ ඉඳන් දොළහ වසර වෙනකම් නැවතිලා හිටියේ ශාන්ත අන්තෝනි විද්‍යාල නේවාසිකාගාරයේ. ඒ කාලේ ඉඳන් ම මම ක්‍රිකට්වලට කැමතියි. මම ක්‍රිකට් ඉගෙනගත්තේ එහෙන්. ඒ කාලෙ තමයි මට පාසල වෙනුවෙන් සෙල්ලම් කරන්න කැමැත්තක් ඇතිවුණේ. ඒ වෙනකොට දෙමළ අයට සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන අදහසක් සමාජගත වෙලයි තිබුණේ. ඒත් ඒක ඇත්තක් නෙවෙයි. මම හිතන්නෙ ඒක අපේ සමාජය තුළ තියෙන ඍණාත්මක ආකල්පයක්. ඒ ආකල්පය නිසා ම දෙමළ කතා කරන සමාජයෙ මිනිස්සු තමන්ගෙ උත්සාහය අතහරිනවා. නමුත් දක්ෂතාවය තියෙනවා නම් දක්ෂයාට අනිවාර්යයෙන් ම අවස්ථාව ලබාගන්න පුළුවන්. ඒකට ජාතිය ආගම වගේ කාරණා බලපාන්නේ නැහැ කියන එකයි මගේ අත්දැකීම; මම උත්සාහ කළා. මට ඒ අවස්ථාව ලැබුණා; මම මගේ දක්ෂතා පෙන්නුවා; ඒ දක්ෂතා පවත්වාගෙන ගියා.

හැබැයි එක දෙයක් කියන්න ඕනි. මේ විදිහට ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න පුළුවන් වේවි කියලා නම් මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මම දක්ෂතා පෙන්නුවා. ඒ දක්ෂතා පදනම් කරගෙන ඒ අවස්ථාවේ මාව එංගලන්ත සංචාරයකට තෝරගත්තා. දක්ෂතාව ඉදිරියේ ජාතිය, ආගම කියන කාරණා වැදගත් නැහැ. සමහරු ඒක තේරුම් ගන්නේ නැහැ. ඔවුන් ඔවුන් ගැනම අවතක්සේරු කරගෙන උත්සාහය අතහරිනවා; ඒක තමයි ඇත්ත.

“මුත්තයියා මුරලිදරන් දෙමළ කතා කරන්නේ නැත්තේ කණ්ඩායමේ තැනක් නැති වෙයි කියන බයට ය කියන අදහසක් දෙමළ කතාකරන සමාජය තුළ තිබුණා… ඒකේ ඇත්ත නැත්ත මොකක්ද”… එසේ විමසන විට ඔහුගේ දෑසේ ඇඳෙන සරදම දෙස බලා සිටියෙමි.

“ඇත්තමයි… එහෙම දෙයක් නැහැ… මේක තේරුම් ගන්නකො. මම පාසලේ නේවාසිකාගාරයෙ තමයි මගෙ ළමා කාලයෙ වැදගත් ම අවධිය ගත කළේ. නේවාසිකාගාරයේ ඉද්දිත් දෙමළ අය වගේ ම සිංහල අයත් හිටියා. සිංහල අයත් එක්ක සිංහලෙන් කතා කරනවා. දෙමළ අයත් එක්ක දෙමළෙන් කතා කරනවා. සමහර අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. මට භාෂා තුනම කතා කරන්න පුළුවන්. මම අවස්ථාවට ගැළපෙන විදිහට භාෂා තුනම සන්නිවේදනයට යොදා ගන්නවා.

මුරලි අප දෙස බලා සිටියේ සිනාසෙමිනි. මේ දිරිමත් මනුෂ්‍යයා පිළිබඳ විටෙක උපදින්නේ ආඩම්බරයකි. ඔහු ජීවිතයේ අප්‍රමාණ බාධක හමුවේ නිරුත්තර නොවූ මිනිසෙකි. ලෝකයේ විශිෂ්ට ම ක්‍රීඩකයෙක් ලෙස නැඟී එන අවස්ථාවේ ඔහුව ක්‍රීඩා පිටියෙන් එළවා දැමීමේ අශීලාචාර මෙහෙයුමක් විටෙක දියත් විය. ඔහු ඒ සියල්ල ජය ගත්තේය.

“මට ඒ ධෛර්යය ලැබුණේ මගේ දෙමාපියන්ගෙන්. 77 කලබල කාලේ මගේ පවුලෙ අය ඉතාම බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ අපේ ඥාතීන් ගොඩක් ලංකාවෙ තමන් උපයා ගත්ත හැමදේම අත්හැරලා ඉන්දියාවට ගියා. ඒත් මගේ තාත්තා ලංකාව දාලා ගියේ නැහැ. එයාගේ ව්‍යාපාර තිබුණේ ලංකාවෙ. ඒ නිසා ප්‍රශ්න මැද ලංකාවෙම හිටියා; ගැටුමට මුහුණ දුන්නා; ව්‍යාපාරවලින් ජයගත්තා. තාත්තගේ ඒ ධෛර්යය සහ ආත්ම විශ්වාසය තවමත් මා මවිත කරවනවා. ඒ ආත්ම ශක්තිය තමයි මටත් පිහිටලා තියෙන්නේ. මොන බාධක ආවත් අපි මේ සමාජය ඇතුළෙම ජීවත් වෙලා බලන්න ඕන. අපිට ඉන් පැනලා යන්න බැහැ”

“මගේ ක්‍රීඩා ජීවිතේ අත්වින්ද බැරෑරුම් ම ප්‍රශ්නය තමයි ඔස්ට්‍රේලියාවෙදි මගෙ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ඇතිවුණු ප්‍රශ්නය. ඒ මොහොතට මා ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දුන්නා. ඒ අවස්ථාවෙදි කණ්ඩායමේ හැමෝම මට උදව් කළා. ඔවුන් ජාති ආගම් කුල භේද බැලුවෙ නෑ. සහෝදරයො වගේ මගෙ ප්‍රශ්නය බෙදා ගත්තා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ මිනිස්සු ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට ගෞරවයෙන් සැලකුවා. ඒ පසුබිම මතයි මා ලෝක වාර්තාවක් දක්වා ගියේ.”

මුරලි විවාහප්‍රාප්ත වී ටික නොබෝ කලකින් ක්‍රීඩාවෙන් ඉවත් වූයේය. ඔහු දැන් ප්‍රීතිමත් පියෙක් සැමියෙක් ලෙස ස්වකීය ජීවිතය ගෙවන්නේ ය.

“මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මම විවාහ වුණේ අවුරුදු 32 න්. ඊට පස්සේ මම අවුරුදු පහක් විතර ක්‍රීඩා කළා. මං ගොඩ නඟාගත්තු මගේ ව්‍යාපාර ප්‍රමාණයක් තියෙනවා. ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ ඒ ව්‍යාපාර වෙත යොමු වුණා. මේ වන විට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ. ඒ හින්දා ලංකාවේ ක්‍රිකට්වලින් අයින්වුණාට පස්සේ ටික කාලයක් අයි.පී.එල් විතරක් සෙල්ලම් කළා.

දැන් මම සතුටින් ජීවත් වෙනවා. මට තියෙන්නේ එකම එක අරමුණක් විතරයි. මම අසීරු අවස්ථාවලට මුහුණ දුන්න කාල වකවානුවල දී මුළු ලංකාවෙම මිනිස්සු මගේ උදව්වට හිටියා. ඔවුන් අතර සිටින දුගී දුප්පත් ජනතාවගේ ජීවිත එක දශමයක් හෝ ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් පදනමක් පිහිටුවන එකයි මගේ අරමුණ. ඒ සඳහා අවශ්‍ය කටයුතුත් දැන් සිදුවෙමින් තියෙනවා.

“ක්‍රිකට් පුරුදු කරන්න කියලා පුතා කියනව ද?.” ඔහු හිස වැනුවේය.

“එයත් ක්‍රිකට්වලට හරිම උනන්දුයි. මමත් එයාව පුහුණුවීම්වලට එක්ක යනවා. එයත් හොඳට සෙල්ලම් කරනවා. එයාගේ දක්ෂතාව අනුව එයාගේ ජීවිතේ තීරණය වේවි. හැමෝම මොනවට හරි දක්ෂයි. ඒත් සමහර අය අවසානය දක්වා තමන්ගෙ දක්ෂතාව හඳුනාගන්නෙ නෑ. දක්ෂතා මතු කරගන්න අය ජීවිතේ දිනනවා. ඒක තමයි ජීවිතේ.

පුතා ගැන කියනවා නම් පුතත් මගේ පාරෙම යන්න ඕන කිය අදහසේ මා නැහැ. මිනිස් ජීවිතේ ඇසිපිය හෙළන මොහොතෙ පවා කොහොම වෙනස් වෙයිද කියලා අපිට කියන්න බැහැ. ඉපදෙනකොට ගෙනාපු දේකුත් නැහැ. මැරෙනකොට ගෙනියන දේකුත් නැහැ. වැදගත් වෙන්නෙ මැරෙනකම් අපි නිසා කී දෙනෙක් සතුටින් හිටියද කියන එක විතරයි.”

මුරලි මේ මා අබියස කියමින් සිටින්නේ බරසාර ජීවිත දහමකි. බරසාර දැක්මක් සහිතව කතා කරමින් සිටින මේ මිනිසා විටෙක මගේ සිත කියවනු සේ හැඟේ. ඔහු මේ ජීවිත පරිණතිය අත්කරගන්නේ කෙසේදැයි වටහාගත හැකි නොවේ. ඔහුගේ පිළිතුර විනිවිද පෙනෙන තරම් අව්‍යාජ ය.

“ සාමාන්‍යයෙන් මම පොත් කියවන කෙනෙක් නොවෙයි. අත්දැකීම් කියලා ගත්තොත් මගේ අත්දැකීම් බද්ධ වෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක. මම ගොඩක් රටවල්වලට ගිය කෙනෙක්. මට ලෝකය පෙනිලා තියනවා. මම අත්දැකපු යථාර්ථයක් කියන්නම්. යමක් කාටහරි දෙන්න ඕන නම් ඒකට හදවතේ ඉඩක් තියෙන්න ඕන. සමහර අයට කොච්ච්ර තිබුණත් සත පහක්වත් කාටවත් දෙන්න හිත ඉඩ දෙන්නෙ නැහැ. හැමදාම ගන්නම බලාගෙන ඉන්න හොඳ නැහැ. අපි අනුන්ගෙන් යමක් ගන්නවා වගේම අපෙනුත් යමක් අනුන්ට දෙන්න ඕන. තමන්ගේ අතිරික්තය අනුන්ට දෙන්න ඕන කියලා මිනිස්සු හිතන දවසකට ලෝකයේ ගොඩක් ප්‍රශ්න විසඳේවි. ඒ අවබෝධය මත තමයි මං මේ රටේ දුගී මිනිස්සුන්ට උපකාර කරන්න නිර්මාණය කළ පදනමට “ හාට් බීට්” කියන නම දැම්මෙ.”

මුරලි සමාජ සේවය ගැන කතාකරමින් සිටින්නේ ය. ඔහුගේ ඊළඟ ඉලක්කය දේශපාලනය දැයි සිතෙන්නේ මේ සුළං හමන දිශාව සම්බන්ධ ව මේ රටේ මිනිස්සුන්ට යම් ඉවක් තියන බැවිනි. රටේ අත්දැකීම තමන්ට ප්‍රතිලාභ නොලැබෙන සමාජ සේවයක් හෝ වෙන යම් ප්‍රවේශයක් ගැන හිතන්නට ඉඩ තබා නැත. අනික මුරලි ගරු කරන අර්ජුණ රණතුංග වැන්නවුන් ද දැන් දේශපාලනයේ ය. මුරලි වැන්නවුන් බා ගන්නට දේශපාලනය ඕනෑම මොහොතක සූදානම් ය.

“මේ වෙනකම් නම් කවුරුත් මට දේශපාලනයට කතා කළේ නැහැ. කතා කළත් මම එන්නෙ නැති බව එයාලා දන්නවා.” ඔහුගේ උස් හිනා හඬින් හාත්පස පිරී යන්නේය.

“මගේ අනන්‍යතාව සමාජය ඇතුළෙ ගොඩනැඟෙන්නෙ ක්‍රිකට් තරුවක් විදිහට. ඒ අනන්‍යතාවය වෙනස් කරගන්න මමත් කැමති නැහැ. අනික මම දේශාපලනය ගැන දන්නේත් නැහැ. සාහිත්‍යයක් විදිහට මට වඩාත් සමීප චිත්‍රපටි. ඒ පරිශීලනයෙන් මම ගත්ත අදහස දේශපාලනඥයෝ කියන්නේ නොකළ යුතු වැරදි සේරම කරන අය කියන එකයි. ඒ ගොහොරුවට වැටෙන්න මට කිසිම උවමනාවක් නෑ. මම දේශපාලනයට ආවොත් ක්‍රිකට් තරුවක් කියන අනන්‍යතාව නැති වෙනවා. අන්තිමට මමත් අර මඬ ගොහොරුවට වැටෙයි කියන බය මට තියෙනවා. කිතුල් ගහ යට ඉඳන් කිරි බොන්න පුළුවන්. ඒත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ බොන්නෙ කිරි කියලා.

මං විශ්වාස කරන ආකාරයට ඔබට මිනිස්සුන්ට සේවය කරන්න ඕන නම් ඔබට දේශපාලනයට එන්නම අවශ්‍ය නෑ. අවුරුදු විස්සක් තිස්සෙ මා දේශපාලනයෙන් තොරව ජනතාවට සේවය කරමින් ඉන්නෙ. මා හැමදාම හැම දෙයක් ගැනම ලෝකයට කියලා නෑ. අවංක අාධ්‍යාශයක් තියනවා නම් දේශපාලනයෙන් තොරව මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්. මං කරන වැඩ වලට කවදාවත් ප්‍රචාරයක් බලාපොරොත්තු වෙලා නෑ. මගෙන් උදව් ඉල්ලගෙන එන අයට මම අනිවාර්යෙන්ම උදව් කළා. මේ වෙනකොටත් “හාට් බීට්” සෙන්ටර් එකෙන් මම මගේ සමාජ වගකීම ඉෂ්ට කරනවා. මම මේවා කරන්නේ තනියම නෙවෙයි. ඒ පසුපස විශාල පිරිසක් ඉන්නවා. අපි කරන හැම වැඩක්ම අන්තිම සතේට විගණනයට ලක්වෙනවා. සතයක්වත් එහාට මෙහාට යන්නෙ නැහැ. ඔබ දන්නවා ඇති, සුනාමියෙන් අසරණ වූ මිනිස්සුන්ට අපි පසුගිය වකවානුවෙ ගෙවල් දාහක් හදලා දුන්නා.”

මුරලිගේ සමාජ සේවා ආයතන Foundation of Goodness හා Village Heartbeat Empowerment Center ය. ඔහු සිය ආයතන ගැන කතා කරන්නේ දැඩි තෘප්තියකිනි.

“මේ සමාජ සේවා සංවිධාන පටන් ගත්තේ 2000 අවුරුද්දේ. මේ කටයුතුවලදී මාත් එක්ක මුල්වෙලා වැඩ කරන්නේ රුෂෙල් ගුණසේකර සහ අශාන් මළලසේකර. අපේ මේ සංවිධානවල අරමුණ ජනතාවට නොමිලේ දේවල් බෙදා දීම ම නෙවෙයි; අපි ඒවත් කරනවා. ඒත් අපේ ප්‍රමුඛ අරමුණ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. මේ සමාජ සේවා මධ්‍යස්ථානවලින් ඉංග්‍රීසි පන්ති, ක්‍රීඩා පුහුණුවීම්, කාන්තාවන් සඳහා මැහුම් පන්ති හා රූපලාවන්‍ය පාඨමාලා වගේ ගොඩක් දේවල් කරනවා. අධ්‍යාපනයත් ලබා දීලා රැකියාවක් සොයා දෙන වැඩපිළිවෙළක් මගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි අපේ අරමුණ. දැනට දිස්ත්‍රික්ක 13 ක අපේ “හාට්බීට්” මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි. තවත් මධ්‍යස්ථාන 12ක් ආරම්භකරන්න අපේ සැලසුමක් තියෙනවා. මේ හරහා හැට දාහසත්, ලක්ෂ දෙකත් අතර පිරිසක් ප්‍රතිලාභ ලබනවා.

“මුත්තයියා මුරලිදරන් වගේ ප්‍රසිද්ධ චරිතයක් මේ තරම් ලොකු වැඩක් කරද්දි මාධ්‍යයෙන් මේ ගැන කතා නොකරන්නේ ඇයි. ඔබ මේ ගැන මාධ්‍යයට කිව්වේ නැද්ද?. නැත්නම් හිතාමතාම මාධ්‍ය මේ ගැන කතා කරන එක මඟ හරිනවද…” මුරලි ඒ ගැන කී කතාව අපේ බොහෝ දෙනකුට අලුතින් කල්පනා කරන්නට යමක් ඉතිරි කරන්නේ ය.

“අපි මිනිස්සු වෙනුවෙන් කරන දේවල් ගැන අඬබෙර ගහන්නෙ ඇයි? මම කරන දේවල් ගැන මම ම කියවන්න ගත්තොත් මම එහෙම කරන්නෙ කුමක් හෝ වෙනත් බලාපොරොත්තුවකින් කියලා සමාජය කල්පනා කරයි. මේ වැඩවල පැහැදිළි එකම අරමුණයි තියෙන්නෙ. මිනිස්සු මට කරපු උදව්ව කළා. මම ඔවුන්ට ප්‍රතිඋපකාර කරනවා; එච්චරයි.”

අප දන්නා පරිදි දුගී බවේ සංස්කෘතිය තුළ යළි ගොඩ එන්නට අවකාශ නොතබා ගිල්වනු ලැබු ජනකොටස ජීවත් වන්නේ වතුකරයේ ය. මේ හඬක් නැති ප්‍රජාව නියෝජනය කළ තරුණ පිරිසක් පසුගියදා ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයක නිරත විය. ඒ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වෙනුවෙනි. දුප්පතුන් ගැන කතා කරන මුරලි මේ වින්දිත මනුෂ්‍යයන්ගේ ගැටලුව දකින්නේ කෙසේදැයි විමසන්නට සිතිනි.

“මේ සම්බන්ධව මට තියෙන්නෙ වෙනස්ම උත්තරයක්. මේ තරුණයො ඉල්ලන රුපියල් දහස ඒ අයට ලැබෙන්න ඕන. ඒක කිසිම තර්කයක් නෑ. ඒත් ඒක දෙන්නේ කොහොමද කවුද දෙන්නේ කියන එක ගැනත් හොයලා බලන්න ඕන. මම මේ ගැන මාස හයක් තිස්සේ අධ්‍යයනය කළා. වතු කම්කරුවෝ ඉන්නේ කඳුකරයේ පමණක් නෙවෙයි. දකුණෙත් වතු කම්කරුවෝ ඉන්නවා.”

මේ ගැටලුව සම්බන්ධයෙන් මගේ අදහස මම කියන්නම්. ව්‍යාපාරයක ලාභයක් තියෙනවා නම් විතරයි වැඩකරන අයට වැටුප් ගෙවන්න පුළුවන්. ලාභයක් නැති ව්‍යාපාරයකින් වැටුප් ගෙවන්න බැහැ.

අද කාලේ හැටියට මාසෙකට රුපියල් 30000 – 35000ක් වත් නැතුව පවුලකට යන්තමින්වත් ජීවත් වෙන්න බැහැ. මේ වතු කම්කරුවෙකුට මාසෙට ම ලැබෙන්නේ රුපියල් 12,000ත් 15,000ත් අතර වැටුපක්. ඒක කොහොමත් ජීවත් වෙන්න මදි.

ඒත් එක්කම වතු කොම්පැනි ලාභ ලබනවද කියන එක ගැනත් බලන්න ඕන. එයාලටත් ඒ හැටි ලාභයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු ගාණක් පරණ කර්මාන්තශාලා තියෙන්නෙ. ඒකටත් විසඳුමක් හොයන්න ඕන. අලුතෙන් තේ වවන්නේ නැහැ. ඒකත් නිවැරැදි කරන්න ඕන ප්‍රශ්නයක්. අලුතින් තේ වවන්නෙත් නැත්නම් දළුත් නැත්නම් කම්කරුවන්ට අවශ්‍ය තරම් වැඩ දෙන්න බැරි වෙනවා. එහෙම නම් මේවා නිවැරැදි කරන්නේ කොහොමද කියලා බලන්න ඕන.

ඒ වගේම කර්මාන්ත ශාලාවෙන් වරායට යන තේ කොළවලට නිසි මිලක් ලැබෙනවද? අනිවාර්යෙන් ම නැහැ. තේ කොළ වෙන්දේසියෙන් විකුණද්දි සමාගම් කිහිපයක් කලින් ම කතා වෙලා මිලක් නියම කරගෙන තමයි වෙන්දේසියට එන්නේ. මේ නිසා සම්පූර්ණ ලාභය ලබා ගන්නෙ වෙන්දේසියෙන් තේ කොළ ගන්න අය විතරයි. වතු හිමිකරුවන්ටවත් කම්කරුවන්ටවත් සාධාරණ ලාභයක් ලැබෙන්නේ නැහැ.

වර්ෂ 2013 – 2014 දක්වා මිලියන 350ක්ව පැවති තේ අපනයනය 2017 වෙද්දි මිලියන 290ක් දක්වා අඩු වෙලා. මෙහෙම අඩු වුණේ ඇයි? වතු කම්කරුවන් බොහොමයක් දෙනා නගර කරා සංක්‍රමණය වුණා. තේ වතු කැලෑ බවට පත්වෙද්දි, කර්මාන්තශාලවල පිරිවැය අඩුකරන්න පුළුවන් විදිහේ යන්ත්‍ර සූත්‍ර නැති නිසා ලාභයක් ගැන හිතන්නවත් බැරිවෙලා තියෙනවා. මේකට වතු හිමිකරුවන්ට බැනලා වැඩක් නැහැ. එයාලට හොඳ වැටුපක් දෙන්න විදිහක් නැහැ. මේක සැලසුමකට විසඳන්න ඕන සංකීර්ණ ප්‍රශ්නයක්.

මේකට විසඳුමක් දෙන්න පුළුවන් රජයට විතරයි. රජයේ නියමය අනුව වෙන්දේසියට තේ කොළ යවනවා. එතනදී තමයි මිල තීරණය වෙන්නේ. එතනින් මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕන රජයයි. කොහොම වුණත් වතුකරයේ තරුණයො කරන මේ උද්ඝෝෂණය ඇතුළෙ යහපත් ප්‍රවණතාවක් තියනවා. ඒත් 15000ක්, 20000ක් ඇවිත් එක දවසක් උද්ඝෝෂණය කළා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ උද්ඝෝෂණ අඛණ්ඩ ව කරගෙන යන්න ඕන. ඒත් ඒක අහිංසාවාදී උද්ඝෝෂණයක් වෙන්න ඕන. එහි බර ආණ්ඩුවට දැනෙන්න ඕන. අනික මේ තරුණයන් හිතන්න අවශ්‍ය නෑ, ඔවුන් ඉල්ලන රුපියල් දහස ලැබුණහම හැමදේම හරි කියලා. එහෙම සතුටු වෙලා ඔවුන් නැවතුණොත් සිදුවන්නෙ ඔවුන්ගෙ අනාගතය සම්පූර්ණයෙන් ම අඳුරු වීම විතරයි. එයාලාගේ දැක්ම කෙටි කාලීනයි. අද රුපියල් දාහක වටිනාකම තව අවුරුදු දෙකකින් ගොඩක් අඩු වෙනවා. අද දාහෙන් කරන්න පුළුවන් දේවල් තව අවුරුදු දෙකකින් කරන්න බැරි වෙයි.

ඉන් අදහස් වන්නේ මේ තරුණයන්ගේ මීට වඩා වැඩි මිලක් ඉල්ලා සිටිය යුතු බවද?. අපි මුරලි විමසීමු.

මම කියන්නේ මූල්‍ය අගය වැඩියෙන් ඉල්ලන්න කියලා නෙවෙයි. මම කියන කතාව වෙනස්. මේ තත්වය පැහැදිලියි. වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කරන්න ඕන. මේ අයට වෛද්‍ය රක්ෂණයක් ලබා දෙන්න ඕන. ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕන. උද්ධමනයට ගැළපෙන වැටුපක් දෙන්න ඕන. ඒත් ඒවා නිකම් ම කරන්න බැහැ. මේවා කරන්න නම් දැනට මිලියන 290ක් ව තියෙන තේ අපනයනය මිලියන 500ක් දක්වාවත් ඉහළ නංවන්න ඕන. නිෂ්පාදනය ඉහළ යනකොට පිරිවැය අඩු වෙනවා. එතකොට වැඩිවුණ නිෂ්පාදනයට සරිලන වේතනයක් ලබා දෙන්න කියලා බලකරලා කියන්න පුළුවන්. මීට ගැළපෙන වැඩසටහනකුයි නිර්මාණය කළ යුත්තේ. දුප්පතුන් දුප්පතුන්ව ඉන්න තාක්කල් දේශපාලනඥයන් ඔවුන්ගෙ ගමන යාවි. පොහොසතුන් පොහොසතුන් විදිහට වැජඹේවි. කම්කරුවන්ව දුගී වහලුන් විදිහට තියාගන්න තරමට හාම්පුතුන්ට ලාභයි. අපි කරන්න ඕන දුප්පතුන්ට පුළුවන් තරම් උදව් කරන එකයි; දුප්පත් මිනිස්සු ටිකක් හරි දියුණු වුණොත් ඔවුන්ගෙ ආකල්ප ස්වාධීන වෙනවා. එතකොට දේශපාලකයන්ට අවශ්‍ය විදිහට ඔවුන්ව හසුරුවන්න බැරි වෙනවා. වතු හාම්පුතුන්ට ඔවුන්ව සූරාගෙන කන්න බැරි වෙනවා. අප කළ යුත්තේ එයයි.

මා ඒ අරමුණ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ කරා යද්දි මා කවදාවත් ජාතිය ආගම බලන්නේ නැහැ. මගේ අනන්‍යතාව ශ්‍රී ලාංකිකයෙක් කියන එකයි. මම ඒ තැන ඉඳන් දුප්පතුන්ට ජීවිතයෙන් ගොඩ එන්න උදව් කරනවා.

(මලයග කුරුවි වෙබ් අඩවිය වෙනුවෙන් කළ සාකච්ඡාව – සිංහල පරිවර්තනය එස්. කෝකුලන්)