Posted on 02.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශ විනිමයක් උපයා ගත හැකි හෙයින් ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.
ජපානය හා ප්‍රංශය මේ වනවිටත් ලෝක වෙළෙඳ පොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බවද ඇමැතිවරයා පවසයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුළ සම්බන්ධයෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් කළ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් පෙරේදා (20 වැනිදා) එම ආයතනයේදී පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මහාචාර්යවරුන් වන සමන් සෙනවීර, රොහාන් වීරසූරිය, අතුල සේනාරත්න, ලක්මාල් ජයරත්න යන මහත්වරු මෙම පර්යේෂණය සිදුකර හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි බව තහවුරු කර තිබේ.
එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා ලෙස අපනයන වර්ධනය කිරීමේ වගකීම තමන්ට පැවැරී තිබෙන බවත්, වෙළෙඳ පොළ විවිධාංගීකරණයට ලක් කරමින් බටහිර යුරෝපය දෙසට යොමුව තිබෙන වෙළෙඳ පොළ අප්‍රිකානු හා ආසියානු කලාපවලට යොමු කළ යුතු බවත් පවසා ඇත.