தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
වරාය නගර පනත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ 2/3ක් පෙන්නන්න බැරිවීම ගැන විමර්ශනයක් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ 2/3ක් පෙන්නන්න බැරිවීම ගැන විමර්ශනයක් ඉල්ලයි



කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කිරීමේදී ආණ්ඩු පක්ෂයේ ඡන්ද දෙකක් අඩුවෙන් ගණනය කිරීම නිසා ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ප්‍රදර්ශනය නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ විමර්ශනයක් සිදු කරන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ පනත වෙනුවෙන් පක්ෂව ඡන්දය දුන් අධිකරණ ඇමැති අලි සබ්රි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් යන මහත්වරුන්ගේ ඡන්දය අවසාන ප්‍රතිඵලයට එකතු නොකර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර මහජනතාව දැනුවත් කරන ලෙස කථානායකවරයාගෙන් පොදු ජන පෙරමුණ එම ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේ ඡන්ද 151ක් ලැබී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී තිබුණත් තාක්ෂණික දෝෂයක් නිසා එය සඳහන් වී තිබෙනුයේ 149ක් වශයෙන් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරයි.

කොළඹ වරාය පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටි අධිකරණ ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඡන්දය සටහන් වී නොමැති බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම කළ දිනයේදී පාර්ලිමේන්තුවේ විද්යුත් ක්‍රමවේදයට ඡන්දය ප්‍රකාශ කරන පද්ධතියේ තාක්ෂණික දෝෂ කිසිවක් නොතිබූ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසා තිබේ.

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම කිරීමට පෙර පද්ධතිය පරීක්ෂාවට ලක් කෙරෙන අතර, කිසිදු දෝෂයක් වාර්තා නොවූ බවද හෙතෙම පවසයි