Posted on 01.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය(ECT) විකිණීමට එරෙහි වෘත්තිය සමිති සිය යෝජනා ලබා දෙන අතර ආණ්ඩුවේ සැලැස්මද ඉදිරියට ගෙන යමින් තිබෙන බවට විශ්වාසදායක ආරංචි අනාවරණය කරයි.
ඉන්දිය හා ජපන් ආයෝජන ලබාගෙන මෙම කන්ටේනර් පර්යන්ත සහිත ජැටියේ පාලනය වසර 30කට පවරාදීමේ සැලැස්ම ආණ්ඩුව විසින් අවලංගුකර නැත. ඉන්දිය රජයේ බලවත් ඉල්ලීම මත මෙම ගනුදෙනුව ආරම්භ වූයේ පසුගිය වහපාලන ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99 බැගින් වාර දෙකකට බදු දීමෙන් පසුවය.
එහෙත් වත්මන් ආණ්ඩුවේ ප්‍රදානින් එවකට දැඩි ලෙස කියා සිටියේ කිසිදු ‘ජාතික දේපළක්’ විදේශයන්ට පැවරීම විරුද්ධ බවත් තමන් බලයට පත් වූ පසුව හම්බන්තොට වරාය නැවත රජයට හිමිකර ගන්නා බවත්ය.
කෙසේවෙතත් ඉන්දිය-ජපන් ආයෝජන සැලැස්මක් සම්බන්ධ ගෝඨාභය-මහින්ද ආණ්ඩුවේ සූදානම තොරතුරු අනාවරණය වූයේ පසුගිය මහමැතිවරණයෙන් පසුවය.
නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහි වෘත්තිය සමිති හා ජනතා විරෝධය බලවත් වෙත්ම ඒ සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කොට සම්මුතියකට එළැඹීමට යැයි කියමින් ඇමතිවරු 7 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කෙරිණි. එහි ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් පවසන්නේ මෙසේ භාරගන්නා යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබදීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියා-ජපන් ව්‍යාපාර හවුලකට පැවරීමට එරෙහි වෘත්තිය සමිතිවලින් යෝජනා භාරගැනීමට ආණ්ඩුව ඊයේ කැමැති පළකරන ලදී. ඒ අනුව ලබන සිකුරාදා(22) දක්වා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට සිය යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස ඉන්දිය අදානි සමාගම ඇතුලු ආයෝජකයන්ට කොටස් හිමිකාරත්වය ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිවල යෝජනා ලබාදෙන ලෙස ප්‍රකාශ කෙරුණේ වරාය සේවක විරෝධතා සම්බන්ධ කරුණු සොයා බැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල කමිටුව සමග කළ සාකච්ඡාවකදීය.
ඊයේ(15) උදෑසන පැවැති වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ කැබිනට් අනු කමිටුවේ නියෝජීතයන් අතර සාකච්ඡාව අවසන් වූයේ යෝජනා භාරදීමට කාලය ලබාදීමෙනි.
කෙසේවෙතත් වෘත්තිය සමිති විසින් යෝජනා සකස්කරන අතරතුර වරාය විකිණීමේ ක්‍රියාදාමය නතර වී ඇතැයි සහතිකයක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබා දී නැත.
වරාය පර්යන්තය විකිණීමේ අරමුණට එරෙහිව පක්ෂ භේදයකින් තොරව පෙළ ගැසී සිටින වෘත්තීය සමිති හා අනෙකුත් සංවිධාන සිටින්නේ ලාභ ඉපදවිය හැකි රාජ්‍ය දේපළක් විකිණීම හෝ බදුදීම නොකළ යුතු බවට වූ දැඩි ස්ථාවරයකයි.