Posted on 04.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘හම්බන්තොට අලි කලමනකාරණ රක්ෂීතය’ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළද එය නෛතික වශයෙන් බලාත්මක කරමින් වල්සපුගල ගොවි අරගලයේ ඉල්ලීම් සපුරාගැනීම අභියෝගයක්ව තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
වල්සපුගල ගොවි විරෝධතාවය ආරම්භ කළ ගොවි සංවිධාන නියෝජිතයන් මෙන්ම ඊට සහයෝගය දක්වමින් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාට ආචාරය පළ කරමින් පුබුදු ජයගොඩ පවසන්නේ ලබාගත් ජයග්‍රහණය සපුරා ගැනීමේ අභියෝගය ජයගැනීමටද එක්ව සටන් කළ යුතු බවය.
‘වල්සපුගල ජය සහ බොරු වලවල්’ යන තේමාවෙන් ඊයේ(13) ෆේස්බුක් සටහනක් තබමින් පෙ.ස.ප. අධයාපන ලේකම්වරයා මේ බව පවසා ඇත. පහත උපුටා පළ කෙරෙන්නේ එම සම්පූර්ණ සටහනයි.
හම්බන්තොට වන අලි රක්ෂිතය ගැසට් කර ගැනීමේ වල්සපුගල ගොවි අරගලය තාවකාලික ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇත. රජය විසින් අදාල ප්‍රදේශය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) වගන්තිය යටතේ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එය මාස තුනක් තිස්සේ ගෙනගිය ගොවි උපවාසයේ හා අරගලයේ ජයග්‍රහණයකි. එම අංක 2222/62 දරණ ගැසට් නිවේදනය විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අප්‍රේල් 9 දිනැතිව නිකුත් කර ඇති අතර අදාළ රක්ෂිත ප්‍රදේශය හෙක්ටයාර 23746.55 සමන්විත වේ. නමුත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට අයත් හෙක්ටයාර 866 එයට අයත් නැත. ජනතාව සංවිධානාත්මකව අරගල කිරීමෙන් ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බවට වල්සපුගල ගොවි අරගලය තවත් උදාහරණයක් එක් කර තිබේ.
එහෙත් මේ ගැසට් නිවේදනයේ බරපතල සීමා ඇති අතර අප ජයග්‍රහණය සැමරීමට ඉක්මන් විය යුතු නැත. ගැසට් නිවේදනයෙන් ප්‍රකාශිත අදාල වගන්තියෙන් සිදුවන්නේ මේ ප්‍රදේශය අභය භූමියක් බවට පත් වීමයි. ඒ තුළ මිනිස් ක්‍රියාකාරකම් සහ පෞද්ගලික ඉඩම් පැවතීමට නීතිමය බාධාවක් නැත. නිදසුනක් ලෙස පාර්ලිමේන්තුව අවට ශ්‍රී ජයවර්ධනපුර අභය භූමිය දැක්විය හැක. එහි පෞද්ගලික ඉඩම් වල මිනිසුන් පදිංචි වී සිටින අතර මිනිස් ක්‍රියාකරකම් සියල්ලම සිදුවේ. හම්බන්තොට වන අලි රක්ෂිතය ගැසට් කර ඇත්තේ ඒ සියල්ලට ඉඩ සැලසෙන පරිදිය. වඩාත් සරලව කියන්නේනම් චමල්ගේ හා නාමල්ගේ ජාවාරම්කාර ගෝලබාලයන්ගේ ගල්කොරි, පස් කැපීම්, ගංජා වගා, දැව කොල්ලයන් ආදී සියල්ලට ඉඩ තබමිනි.
වනය තුළ මේ ජාවාරම් සිදු වෙද්දී අලින් ගම් වදිනු ඇත. සුපුරුදු පරිදි ගොවීන් හා අලි ඇතුන් මියයනු ඇත. ආණ්ඩුව ගැසට් එකක් නිකුත් කර ඇති බව වන අලි දන්නේ නැත. අලි ගම් වැදුනු පසු උන්ට ගැසට් පෙන්වා පැහැදිලි කිරීම් කළ නොහැක. අරගලයේ සැබෑ ජයග්‍රහණය ලැබෙන්නේ වන අලි සඳහා අදාල වනාන්තර ප්‍රදේශය වෙන් කරදී, අලි මංකඩ සියල්ල ඉදිකර, වනය තුළ ජාවාරම් නතර කිරීමෙන් පසුව පමණි. එතෙක් සටන ඉදිරියට යනු ඇත. ගැසට් නිවේදනය මිනිස් ක්‍රියාකාරකම් තහනම් කෙරෙන නීතිමය ආවරණයක් දක්වා පුළුල් කරන තුරු අරගලය ඉදිරියට ගෙන යා යුතුය.
ගැසට් නිවේදනය නිකුත් කළද අඛණ්ඩ උපවාසය අප්‍රේල් 20 දක්වා නොනවත්වා කරගෙන යාමට වල්සපුගල ගොවි සංවිධාන තීරණය කර ඇති අතර සතියක් තුළ අදාල නෛතික ප්‍රතිපාදන ගැසට් කරන ලෙස පාලකයන්ට බල කරමු. මේ අඛණ්ඩ අරගලයට සහය දුන් සැමට ආචාරය පුද කරන අතර අවසන් ජයග්‍රහණය දක්වා සටන් වැදීමට දායකත්වය අපේක්ෂා කරමු.”
පුබුදු ජයගොඩ