தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
වසංගතය මැදත් ධම්මික පෙරේරාගේ වත්කම් කෝටි 1500න් ඉහළ ගිහින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතය මැදත් ධම්මික පෙරේරාගේ වත්කම් කෝටි 1500න් ඉහළ ගිහින්



ලංකාවේ ප්‍රධාන ධනවතෙක් ලෙස සැළකෙන ධම්මික පෙරේරාගේ වත්කම් මේ වසර තුළදී කෝටි 1500න් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඔහු මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමූහ සමාගම් දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී සමාගම් වල ප්‍රධාන කොටස්කරුවෙක් වේ. ‘අද දෙරණ Biz අනාවරණය කර ඇති පරිදි 2020 ජූනි 30 වන විට හේලීස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක් ධම්මික පෙරේරාට අයත්ව තිබුණි. 2020 වසර ආරම්භයේ දී හේලීස් සමාගමේ කොටසක මිල දැක්වුණේ රු. 170.50 ලෙසිනි. වසර ආරම්භයේ දී එසේ සටහන් වූ කොටසක මිල පසුගිය නොවැම්බර් 06 වනදා වන විට සටහන් වූයේ රු. 427.70 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව 2020 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී පමණක් හේලීස් සමාගමේ කොටසක මිල රු. 257.20 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ධම්මිකගේ හේලීස් සමාගමේ ආයෝජන වටිනාකම 2020 වසර තුළ දී රු. මිලියන 9,840.39 කින් හෙවත් රු. කෝටි 984 කින් වැඩි වී තිබේ.

එසේම ධම්මික පෙරේරා බහුතර කොටස් අයිතිය දරන අනෙක් සමූහ සමාගම වන වැලිබල් වන් පීඑල්සී හි කොටසක මි රු. 17.60 සිට රු. 25.40 දක්වා 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ඉහළ ගොස් ඇත. වැලිබල් වන් පීඑල්සී හි කොටස් 63.478%ක හිමිකාරීත්වයක් ඔහු සතුය. ඒ අනුව වැලිබල් වන් ඔහුගේ ආයෝජන වටිනාකම මෙම වකවානුව තුළ දී රු. මිලියන 5,379.86 කින් හෙවත් රු. කෝටි 537 කින් වැඩි වී තිබේ.

මේ අනුව ධම්මික පෙරේරාගේ සමස්ත ආයෝජනවල වටිනාකම 2020 වසර තුළ දී රු. කෝටි 1,522 කින් මේ වන විට ඉහළ ගොස් ඇත.

2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ හේලීස් සමාගමේ මූල්‍ය ප්‍රකාශය බොහෝ දුරට මෙම සතිය තුළ දී නිකුත් කෙරනු ඇත. 2020 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී සමූහයේ ඒකාබද්ධ බදු ගෙවීමෙන් පසු ලාභය පෙර වසරේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී රු. මිලියන 73.44 ක අලාභයක සිට රු. මිලියන 561 .76 ක ලාභයක් දක්වා කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇත.

මේ වන විට සමූහයේ ලැයිස්තුගත අනුබද්ධ සමාගම් කිහිපයක නවතම මූල්‍ය ප්‍රකාශ නිකුත් වී ඇති අතර ඒ අනුව 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී අනගිභවනීය කාර්යසාධනයක් ළඟා කර ගැනීමට එම සමාගම් සමත්ව ඇත. එහිදී Haycarb PLC සමාගමේ ඒකාබද්ධ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 355.33 සිට රු. මිලියන 1,137.91 ක් දක්වා 220% කින්, DIPPED PRODUCTS PLC හි සමූහ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 230.49 සිට රු. මිලියන 1,389.70 දක්වා 503%කින්, Hayleys Fabric PLC බදු ගෙවීමෙන් පසු ලාභය ඩොලර් 759,837 සිට ඩොලර් 1,078,233 ක් දක්වා 42%කින් වැඩි වී ඇත.

මේ අතර මෙරට ටයිල් කර්මාන්තයේ පූර්ණ ඒකාධිකාරීත්වයක් ධම්මික පෙරේරා යටතේ නිර්මාණය වී ඇත්තේ ලංකා ටයිල්, රෝයල් සෙරමික්, ලංකා වෝල්ටයිල්, ලංකා සෙරමික්, ස්විස්ටෙක් සිලෝන් යනාදී සමාගම්වල පරම කොටස් හිමිකාරීත්වය ඔහුගේ පාලක කොටස් අයිතිය සතු වැලිබල් වන් පීඑල්සී යටතේ වන හෙයිනි. මෙම සමාගම් සියල්ලම පසුගිය කාර්තුව තුළ දී කැපීපෙනෙන මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කර ගෙන තිබේ. එහිදී රෝයල් සෙරමික් රු. මිලියන 611 සිට රු. මිලියන 1,663 දක්වා, ලංකා සෙරමික් රු.මිලියන 6.75 සිට රු. මිලියන 11.77 දක්වා, ලංකා ටයිල්ස් රු. මිලියන 156 සිට රු. මිලියන 433 දක්වා, ලංකා වෝල් ටයිල් රු. මිලියන 34 සිට රු. මිලියන 147 දක්වා, ස්විස්ටෙක් සිලෝන් රු. මිලියන 52.81 සිට රු. මිලියන 64.98 ක් දක්වා යනා දී වශයෙන් බදු ගෙවීමෙන් පසු ලාභ වාර්තා කිරීමට සමත්ව ඇත.