தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
වසංගතය මැද කොතලාවල පනත සම්මත කරගෙන අධ්‍යාපනය විකිණීමේ සූදානමක් - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතය මැද කොතලාවල පනත සම්මත කරගෙන අධ්‍යාපනය විකිණීමේ සූදානමක් – පුබුදු ජයගොඩ



වසංගත තත්වය උපයෝගී කරගෙන පාර්්ලිමේන්තුවේ හෝ ජනතාවගේ අවදානය නොමැතිව පනත් සම්ම්ත කරමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

පවතින වසංගත අවදානම මැද අධ්‍යාපනය විකිණීමේ කටයුතුවලට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුව තුළ කොතලාවල ආරක්ෂක පීඨ පනත් කෙටුම්පත් සම්මත කරවා ගැනීමේ සූදානමක් ඇති බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි. අද (17) නුගේගොඩ පෙ.ස.ප. කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය. වරාය නගර කොමිෂන් සභා පනත වසංගතයට මුවා වී සම්මත කරගත් ආකාරයටම කිසිදු සමාජ අවදානයකට ලක් නොකොට, ශිෂ්‍ය ප්‍රජාව, මව්පියන්, ආචාර්යවරුන් මෙන්ම සාමානය ජනයාගේ අදහස් සංවාදයකට නොගෙන අත්තනෝමතික ලෙස මෙවුන් පනතක් සම්මත කිරීමට දැඩි ලෙස විරුද්ධ බව ඔහු ඒ අවස්ථාවේ අවධාරණය කළේය.
පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා මෙම කරුණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ සංක්ෂිප්තයක් පහත පළ වේ.

“පසුගිය මාර්තු 26වනදා කොතලාවල ආරක්ෂක පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. දැනට ආරංචි වෙලා තියෙනවා ජුනි 22වැනිදා ආරක්ෂක අමාත්‍යංශය කාරක සභාවට ඉදිරිපත් කරලා එතැනින් පස්සේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සඳහා යොමුකිරීමේ සූදානමක් තියෙනවා කියලා. මේ වෙනකොට ලංකාව පුරා සංචරණ සීමා පවතිනවා. දැනට ප්‍රකාශ කරලා තියෙනවා ඒ සංචරණ සීමා සහ නිරෝධායන නීති සියල්ල ජුනි 21වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙන බව. ඊට අමතරව ආරංචි පැතිර යමින් පවතින 21 වැනිදායින් පසුවත් සංචරණ සීමා දිගු වෙන්න නියමිතයි කියලා. සංචරණ ෂිමා හේතුවෙන් ජනතාවට විරෝධය දක්වන්න යමක් ගැන සාකච්ඡා කරන්න අවස්ථාව අහිමි වෙලා තියෙනවා.

වසංගතය ඇතුළේ මෙන්න මේ සීමාවල් දාගෙන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරමින් විවිධ අනපනත් සම්මත කරමින් යනවා. දැනට ජනතා විරෝධී අනපනත් සම්මත කරගැනීම සඳහා වසංගතය උපයෝගී කරගනිමින් ඉන්නවා. වසංගතය වසන්තයක් කරගෙන සමාජ විරෝධී අනපනත් සම්මත කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. කොතලාවල ආරක්ෂක පනත ඉතාම බරපතල ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපිට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය කියද්දී සිහිපත් වෙන්නේ ඒ නමින් තියෙන ආරක්ෂක ඇකඩමිය. මේ විද්‍යාපීඨය ආරම්භ කරේ 1981 අංක 68 දරණ පනතින් ආරම්භ කරේ ආරක්ෂක හමුදාවල නියුතු අය සඳහා ආරක්ෂක හමුදාවලට බඳවා ගන්නා අයට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමට. දැන් ඒක වෙනස් වෙලා වෙනත් අයටත් මුදලට අධ්‍යපනය ලබාදීම මේකෙ සිද්ධ වෙනවා. මේක විශ්ව විද්‍යාලයක් බවට පත්කරා. එහි උපාධි ලබාගැනීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වෙන අය පස්සෙ යම් මුදලක් ගෙවලා හමුදා සේවයෙන් නිදහස් වෙනවා. ඒ උප්පරවැට්ටිය පාවිච්චි කරලා පෞද්ගලික ආකාරයට උපාධි ලබාදීමක් සිද්ධ වෙනවා. මේක දැන් ක්‍රියාත්මක වෙන්නෙ රජය සතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් විදිහට. එක වක්‍රාකාරයෙන් වෙනුවට ඍජුවම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර තියෙනවා අලුත් පනතේ.

අලුතෙන් ඇවිත් තියෙන පනතේ 4 (ආ) වගන්තියේ නිශ්චිතව සඳහන් කරලා තියෙනවා ආරක්ෂක හමුදාවල සේවයේ නියුතු පුද්ගලයන් සහ වෙනත් පුද්ගලයන් කියලා. වෙනත් පුද්ගලයන් කියන සීමාව ඇතුලේ ඕනෑම කෙනෙක් මේ විශ්ව විද්‍යාලයට ඇතුල් කරගෙන මුදලට අධ්‍යාපනය ලබාදීමේ අවස්ථාව හදමින් තියෙනවා. මුලින් උපාධි ප්‍රදානය කිරීමේ අයිතියවත් මේ ආයතනයට දීලා තිබුණේ නැහැ. ඒක දුන්නේ 2007 වසරේ අංක 50 පනතෙන්. උපාධි ප්‍රදානය කිරීමේ අවස්ථාව දුන්නට පස්සෙ මේකෙ වෛද්‍ය උපාධිය, ඉංජිනේරු උපාධිය සහ අනෙකුත් උපාධි පටන් ගත්තා. ඉංජිනේරු උපාධිය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් අනුමත කරලා නැහැ. ඒ නිසා එහි ඉංජිනේරු උපාධිය ගන්න අයට ඉංජිනේරු වෘත්තිකයන් ලෙස ලංකාවේ ලියාපදිංචි වෙන්න බැහැ. එකෙ වෛද්‍ය උපාධිය ගන්න අයටත් වෛද්‍යවරු ලෙස ලියාපදිංචි වෙන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අනුමැතියක් තිබුනේ නැහැ. එහෙම තියෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලෙ බලහත්කාරයෙන් 2014 අංක 06දරණ වෛද්‍ය ආඥා පනතට සංශෝධනයක් ගෙනල්ලා මේ කොතලාවල වෛද්‍ය පීඨයෙන් පිටවෙන අය සඳහා වෛද්‍ය වෘත්තිකයන් ලෙස පිළිගැනීමට අවශ්‍ය අවස්ථාව ලබාගත්තෙ. දැන් අලුතෙන් කරන්න යන්නෙ රත්මලානේ පිහිටා තියෙන ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අමතරව රට පුරා පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න රට පුරා විදේශ විශ්ව විද්‍යාලවල ශාඛා හදන්න ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය මිලිටරිය සතු කරන විදිහට පනත අලුතෙන් සංශෝධනය කරන්න යනවා.

2018 අප්‍රේල් 11ත වැනිදා මේ ආකාරයටම ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට රටපුරා ශාඛා ආරම්භ කරන්න අවසර දෙන, මුදලට උපාධි ලබාදීමට අවසර දෙන විදිහේ පනතක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙද්දි ශිෂ්‍යයෝ දෙමව්පියෝ ගුරුවරු උද්ඝෝෂණය කරලා ඒක පැරැද්දුවා. යහපාලන ආණ්ඩුව මේ පනත ගේනකොට ඒ කාලෙ ඒක වැරදියි කියා කියා හිටපු මේ ආණ්ඩුවේ කට්ටිය දැන් ඒ පනත ගෙඩි පිටින් ගෙනල්ලා තියෙනවා. මාර්තු 26වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනත් කෙටුම්පත බැලුවට පස්සෙ ඒක 2018 යහපාලන ආණ්ඩුව ගැසට් කරපු පනතම තමයි ලොකු වෙනසක් නැහැ. මේ පනත් කෙටුම්පත පනතක් ලෙස සම්මත වුණොත් 1981 අංක 68 දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනත මේකෙන් අවලංගු වෙලා නව විශ්ව විද්‍යාලයක් පිහිටුවනු ලබනවා. මේ නව පනතේ අරමුණ විදිහටම 5 සහ 7 වගන්තිවල සඳහන් කරලා තියෙනවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නමින් රටපුරා විශ්ව විද්‍යාල, විශ්ව විද්‍යාල මණ්ඩප, පීඨ, අධ්‍යයන ආයතන පිහිටවන්න අවසර දෙන බව. ඒ නිසා රට පුරාම උපාධි කඩ ඇරීමේ බලයක් එනවා.
ඒ වගේම මේකෙ 5 (ඌ ) වගන්තියට අනුව නිශ්චිතව සඳහන් කරලා තියෙනවා විදේශීය විශ්ව විද්‍යාල හෝ දේශීය විශ්ව විද්‍යාල සමඟ කටයුතු කරන්න ඒවාට අනුමැතිය ලැබෙනවා කියලා. ඒ කියන්නෙ දැනට ලංකාවේ තියෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියක් නැතුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියක් නැතිව සමහර අධ්‍යාපන ආයතන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා පෞද්ගලික විශ්ව විද්‍යාල ලෙස පවත්වාගෙන යනවා. අන්න ඒ පෞද්ගලික උපාධි කඩවලට නිත්‍යානුකුලභාවය ලබාදෙන්න කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයත් සමඟ ඒ අදාළ උපාධි කඩය ගිවිසුමක් අත්සන් කරා කියන පදනමින්.

පහුගිය කාලයක් පුරා විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා ලංකාවේ ආරම්භ කරන්න උත්සාහ කරා. උදාහරණයකට ඉන්දියාවේ ඇපලෝ ආයතනයට සම්බන්ධ උපාධි කඩයක් හදන්න හැදුවා. විග්නන් ආයතනයට සම්බන්ධ උපාධි ආයතනයක් හදන්න හැදුවා. මෑතක ඇබර්ඩීන්වලට අනුබද්ධ කියලා උපාධි කඩයක් ආරම්භ කරන්න හැදුවා. ඒවා කරන්න ලැබුනේ නැහැ ඒවාට විරුද්ධව නැගුනු විරෝධය සහ ලංකාවේ නීතිය අනුව. විශේෂයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව වගේ නියාමන ආයතනවලින් මේ උපාධි පිළිගන්නේ නැති තත්ත්වයක් ආව නිසා. අපි දැක්කා සයිටම් ආයතනය හැදුවට පස්සේ වෙච්ච වැඩේ. සයිටම් එක හදලා ලියාපදිංචිත් කරා අවසානයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේකෙන් පිටවෙන අය වෛද්‍යවරු කියලා පිළිගත්තේ නැහැ. දැන් පටන් ගන්න යනවා කොතලාවල විශ්ව විද්‍යාලයේ බෝඩ් එක ගහලා වෙනත් රටවල්වල විශ්ව විද්‍යාලවල උපාධි විකුණන කඩ. මෙතැන ප්‍රශ්නේ උසස් අධ්‍යාපනය පෞද්ගලිකරණය කරනවා විතරක් නෙමෙයි උසස් අධ්‍යාපනයට අදාළ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය මිලිටරීකරණය කරනවා. මේ පනතේ 2වැනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා මේ පනත ක්‍රියාත්මක වෙනවනම් තීරණ ගන්න ව්‍යුහය මොකක්ද කියලා. මේ ව්‍යුහය තමයි තීරණය කරන්නෙ කොහෙද පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්නේ, දැනට උපාධි කඩයකට සම්බන්ධවෙලා ඒක නිත්‍යානුකුල කරනවද, විදේශීය විශ්ව විද්‍යාලයක උපාධි කඩයක් ලංකාවේ දානවද කියන එක. ඒ මණ්ඩලය මුළුමනින්ම පාහේ සමන්විත වෙලා තියෙන්නෙ මිලිටරියෙන්. මේ පනතේ දෙවැනි වගන්තියට අනුව ඒ මණ්ඩලයේ ඉන්නවා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, යුධ හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා සහ උපකුලපතිවරයා. උපකුලපතිවරයා කිව්වට සාමාන්‍ය බුද්ධිමතෙක් , විශේෂඥයෙක් කියලා හිතන්න එපා. මේකෙ 10 (1) වගන්තියේ පැහැදිලව සදහන් කරලා තියෙනවා ජනාධිපතිවරයා විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස නම් කළ යුත්තේ ආරක්ෂක හමුදාවල ප්‍රධානියෙක් කියලා. මේ හත් දෙනාම අමතරව තියෙනවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එක නියෝජිතයෙක්. ඊට පස්සේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නම් කරනු ලබන කෙනෙක්. මේ 9 දෙනාගෙන 7 දෙනෙක්ම මිලිටරි නිලධාරීන්. මේකට අදාළව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කිසිම මැදිහත්වීමක් කරන්න බැහැ.

දැනට ලංකාවේ විශ්ව විද්‍යාල ලියාපදිංචි කරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. දැනට තියෙනවා උසස් අධ්‍යාපන ආයතනවල තියෙන උපාධි පාඨමාලා පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ප්‍රතිපාදන කොමිෂන් සභාවසහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය. එතකොට විශ්ව විද්‍යාල කොමිසම සතු බලය සම්පුර්ණයෙන් සන්නද්ධ හමුදාවලට යට කරලා තියෙනවා. මේක කරන්නේ විශ්ව විද්‍යාලවලට අදාලව විතරක් නෙමෙයි. විවිධ නියාමන ආයතන විසුරුවා හරිම සඳහා පසුගිය කැබිනට් මණ්ඩලයේදී කතා කරා. එකට අනුව තමයි භූ විද්‍යා පතල් කාර්යංශයට විකල්ප ව්‍යුහ හදන්න යන්නේ. ඒකට අදාළව තමයි විදුලි සංදේශ නියාමන කොමිසමට අදාළ විකල්ප ව්‍යුහයන් හදන්න යන්නෙ. ඒකට අනුව තමයි මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට යටත් නොවන බැංකු හදන්න වරාය නගර පනතේ තීරණ ගන්නෙ.

මේ පෞද්ගලීකරණ ක්‍රියාවලියට බාධා කරන සියලු නියාමන ආයතන එක්කෝ අහෝසි කරනවා නැත්තම් ඒවගේ බලතල කප්පාදු කරනවා. එහෙමත් නැත්තම් ඒ බලයම සහිත වෙනත් ආයතන හදනවා. ඒ වෙනත් ආයතනවලට මිලිටරිය යොදවා ගනිමින් ඉන්නවා. මේ පනතේ 5 (A) වගන්තියේ නිශ්චිතව සඳහන් කරලා තියෙනවා 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 128 වැනි වගන්තියේ කුමක් සඳහන්ව තිබුනත් ඒකට උඩින් ගිහිල්ලා උපාධි, ඩිප්ලෝමා පිරිනමන්න මේ කියන මිලිටරි ව්‍යුහයට පුළුවන් කියලා. එතකොට ලංකාවේ උසස් අධ්‍යපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්නෙ ඒ විෂයන් සම්බන්ධ විශේෂඥයෝ හරි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරි, උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරි දැනට විශ්ව විද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරු නෙමෙයි. මේ ව්‍යුහය අනුව හමුදාව තමයි තීරණ ගන්න. ඒ විතරක් නෙමෙයි මේ කොතලාවල කියලා නම් කරලා තියෙනවා රජය සතු පෞද්ගලික විශ්ව විද්‍යාලය දැනට සාමාන්‍ය විශ්ව විද්‍යාලවල තීරණ ගන්නෙ සනාතන සභා පීඨ මණ්ඩලයේ ව්‍යුහයන්ගෙන්.

මෑතකදි උපකුලපති ධුරයට විවෘත විශ්ව විද්‍යාලය විසින් සුදුසුකම් මත තෝරාගැනීමක් කරලා නම්කරලා යවන නාම යෝජනා ජනාධිපතිවරයා දිගින් දිගට ප්‍රතික්ෂේප කරා. එතන ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගිහින් තියෙන්නෙ. ඒ වගේ ප්‍රශ්න එන්නෙ ජනාධිපතිවරයාට ඕන ඕන විදිහට උපකුලපතිවරු නම් කරන්න බැහැ විශ්ව විද්‍යාලයේ ඒ සඳහා ව්‍යුහයක් තියෙද්දී. මේකෙ ඒ වෙනුවට 19 (1) වගන්තියේ නිශ්චිතව තියෙනවා විශ්ව විද්‍යාල කටයුතුවල සියලු බලතල දීලා තියෙන්නේ මිලිටරි නිලධාරීන් ඉන්න ව්‍යුහයට. මේ තත්ත්වයට අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ,වාස්තු විද්‍යාඥයන්ගේ සභාව, හෙද සභාව, වෛද්‍ය සභාව යන නියාමන ව්‍යුහයන් මුකුත් අදාළ නැහැ. ලංකාවේ වෘත්තිකයෝ විය යුත්තේ කවුද ඒගොල්ලන්ගේ උසස් පෙළ අවම සුදුසුකම් මොනවද ඒගොල්ලෝ ඉගෙනගන්න පාඨමාලාවේ ප්‍රමිතීන් මොනවද අවසාන විභාගයේදී ඒ අය සතුවිය යුතු දැනුමේ මට්ටම් මොනවාද කියලා තීරණය කරන්නෙ හමුදාව.

දැන් මේක පුදුමයක් නෙමෙයි. සෞඛ්‍ය අංශ විසින් කළ යුතු නිරෝධායන ක්‍රියාවලියට හමුදාපතිවරයා මැදිහත්වෙලා තියෙන්නෙ. මේ තත්ත්වය අධ්‍යාපනයට අදාළව ඇතුල් කරන්න යන්නෙ. මේ හදන්නෙ රට පුරා පෞද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් හදලා විදේශ විද්‍යාලයි ලංකාවේ උපාධි කඩයි ඔක්කොම සම්බන්ධ කරලා රත්මලානෙ විතරක් නෙමෙයි රට පුරා උපාධි විකුණන උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණ මුදලාලිකරණය කරන වෑයමක් මේකෙ තියෙන්නෙ. 19 (1) ඩ වගන්තියට අනුව පෞද්ගලික පාසල් ජාලයක් හදන්නත් මේ මිලිටරි ව්‍යුහයට අනුමැතිය දීලා තියෙනවා. එක පැත්තකින් අධ්‍යාපනය වෙළඳභාණ්ඩකරණය. අනෙක් පැත්තෙන් අධ්‍යාපන උසස් අධ්‍යපන සියලු ක්ෂේත්‍ර මිලිටරිකරණයකට ලක් කිරීම සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පනතේ 7වැනි වගන්තියට අනුව මේ හදන විශ්ව විද්‍යාලවල ශිෂ්‍යන්ට, අනධ්‍යන සේවකයන්ට, දෙමව්පියන්ට හරි ඇතිවෙන ප්‍රශ්නයකදී අඩුම ගානෙ උද්ඝෝෂණයක්වත් කරන්න බැරි තත්ත්වයක් හදලා තියෙනවා.

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතත් මර්දන පනතක්. නමුත් ඒ පනතටත් එහා ගිය ප්‍රතිපාදන මේකෙ හදලා තියෙනවා. මේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යන්ගේ , අනධ්‍යන සේවකයන්ගේ, දෙමව්පියන්ගේ , ආචාර්යවරුන්ගේ හෝ යම් ක්‍රියාකාරිත්වයක් ජාතික ආරක්ෂාවට හරි ජාතික ප්‍රතිපත්තියකට හරි අනතුරුදායක පෙළඹුමක් තියෙනවා යයි ඇමතිවරයාට හැඟී යයි නම් අවශ්‍ය ඕනෑම දෙයක් කිරීම සඳහා මෙන්න මේ ව්‍යුහයට නියෝග කිරීමේ බලයක් ආරක්ෂක අමාත්‍යවරයා සතුයි. බොහෝ විට ආරක්ෂක ඇමතිවරයා බවට පත්වෙන්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ මිලිටරි ජුන්ටාවක් විසින් උසස් අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපනය සම්බන්ධ සියලු තීරණ ගන්න තත්ත්වයක් එනවා. මේක මියන්මාරය නෙමෙයි, මේක මිලිටරි ජුන්ටාවක් නෙමෙයි බලයේ ඉන්නෙ. මේකෙ ඡන්දෙන් බලයට පත්වූ ජනාධිපති කෙනෙක් ඉන්නෙ. එයාගේ අමාත්‍යංශයෙන් මේ පනත හදලා තියෙන්නෙ. 22වැනිදා ජනාධිපතිවරයා විසින් අල්ලාගෙන ඉන්න අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ තමයි මේ පනත සාකච්ඡාවට ගත්තේ.

මේ පනත හොර රහසේ වසංගතය මැද සම්මත කිරීමට ආණ්ඩුව විසින් ගෙනයන කුමන්ත්‍රණකාරී උත්සාහයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධය පළ කර සිටිනවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනයෙන් දරුවන් වෙත අධ්‍යාපන වරම් දෙන්න බලාපොරොත්තුවන මව්පියන්ට අපි ආරාධනා කරනවා හැකි ආකාරයෙන් මේ සඳහා විරෝධය දක්වන්න. ශිෂ්‍ය. ආචාර්ය ප්‍රජාව විහේසයෙන් අධ්‍යාපනයේ නිදහසත් පෞද්ගලිකකරයෙන් සිදුවන හානියත් වටහමා ගෙන ආණ්ඩුවේ අත්තනෝමතික පිිලිවෙතට එරෙහි වන ලෙස අපි ආයාචනා කරනවා.”