தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
වසංගතය - 2 : 'අහිමි කාලයක පුරාවෘත්ත' - ස්ලේවෝයී ශිෂෙක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතය – 2 : ‘අහිමි කාලයක පුරාවෘත්ත’ – ස්ලේවෝයී ශිෂෙක්



Slavoj Zizek විසින් කොරෝනා වසංගත සමය අරභයා දේශපාලන විවරණයක් සපයමින් පළ කළ  ‘PANDEMIC: Covid 19 Shakes the World’ කෘතිය, සුමිත් චාමින්ද විසින් පරිවර්තනයක් ‘ලංකාවීව්ස්’ තුළ කොටස් වශයෙන් පළ විය. පසුව ඒම කෘතිය ප්‍රකාශයට පත් කෙරිණි.
සුමිත් විසින් පරිවර්තනය කරනු ලබන එහි දෙවන කෘතිය වන ‘PANDEMIC 2: Chronicles of a Time Lost’ හි පරිවර්තනයේ කොටස් අනුපිළිවෙලින් මෙතැන් සිට පළ කරමු.

(කරුණාකර උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

– පළමු කොටස –

පරිවර්තකගේ හැඳින්වීම

කොරෝනා වෛරස් වසංගතය ලොව පුරා හමා යමින් තිබෙන්නේ අපගේ ජීවිත කාලය තුළ අප මෙතෙක් දැන සිටි “දේවල්වල පිළිවෙල” අවුල් ජාලාවක් බවට හරවමිනි. මතුපිටින් බැලූ විට පෙනෙන චිත්‍රය එබඳුය. නමුත්, සැබවින්ම සිදුව ඇත්තේ මෙතෙක් පැවති දේවල්වල පිළිවෙළ ආවරණය කරන ලද්දා වූ දෘෂ්ටිවාදී සළු පිළි වසංගතයේ චණ්ඩ මාරුතයට හසුව ගසාගෙන යාම විය නොහැකිද? එනයින්, පැවති දේවල්වල පිළිවෙළ වෙතටම අපව ප්‍රචණ්ඩ ලෙස අභිමුඛ කරනු ලැබීම විය නොහැකිද? වසංගතයට පෙරද අප සිටියේ එකම බෝට්ටුවක නොවේ. මිනිස් ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තරමට තනි පුද්ගලයින් කිහිප දෙනෙකු අත මිලියන් ගණනාවක ජනයා සතු ධනයට වඩා වැඩි ධනයක් ගොඩ ගැසී තිබේ. ධනවාදී සංවර්ධනය විසින් සමස්ත ජෛව ගෝලයේම පැවැත්ම අනතුරේ හෙළා ඇත. අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ මාරුතය ඉදිරියේ ගෝලීය පර්යාය බිහිසුණු අස්ථාවරත්වයකට පත්ව ඇත. මේ කිසිවක් වසංගතය විසින් නිර්මාණය කරන ලද තත්ත්වයන් නොවේ. දේවල්වල පැවති පිළිවෙළ වූයේ එයයි. වසංගතය විසින් සිදු කරනු ලැබ ඇත්තේ පැවති බහු-විධ අර්බුධය වඩා ගැඹුරු සහ තීව්‍ර කිරීමත්, අන් සියල්ලට වඩා එම අර්බුධයට අපව අභිමුඛ කරවීමත්ය.

අපේ කාලයේ අවෙහෙසකර ගෝලීය බුද්ධිමතා වන ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන අර්බුධයේ තීව්‍රතාව සහ ගැඹුර එතරම්ම තීව්‍ර න්‍යායික දැක්මකින්ද, එතරම්ම ගැඹුරු දාර්ශනික අවබෝධයකින්ද යුක්තව ග්‍රහණය කර ගැනීමට දරන ප්‍රයත්නය නවත්වා නොමැත. කොටින්ම ඔහු චින්තනමය ලෙස වසංගතය හඹා යාම නතර කොට නොමැත. කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයත් සමග ඇරඹුණු ඔහුගේ නව බුද්ධිමය ප්‍රයානයේ පළමු පලය වූයේ “වසංගතය: කොවිඩ් 19 ලොව සසළ කරයි” (2020) නමැති කෘතියයි. එය ප්‍රකාශයට පත්ව ඉතාම කෙටි කාල පරිච්ජේදයක් තුළදී සිංහල ඇතුළු භාෂා කිහිපයකටම පරිවර්තනය විය. එයින් මාස කිහිපයකට පසුව එම කෘතියේම දෙවන කොටස, “වසංගතය 2: අහිමි කාලයක පුරාවෘත්ත” (2020) කෘතිය දැන් ප්‍රකාශයට පත්ව තිබේ. මෙතැන් සිට කොටස් වශයෙන් පළවන්නේ එම කෘතියේ සිංහල පරිවර්තනයයි.

ශිෂෙක් “වසංගතය 2” කෘතිය ආරම්භ කරන්නේ තරමක අභව්‍ය ප්‍රශ්නයක් විමසමිනි. එනම්, “දාර්ශනිකයින් අස්වනු නෙළීම ගැන ලිවිය යුත්තේ මන්ද” යන ප්‍රශ්නයයි. දැන් ලොව පුරා අස්වනු නෙළීම සහ බෙදා හැරීම පිළිබඳ බරපතල අර්බුධයක් නිර්මාණය වෙමින් පවතී. ඉක්මණින් මේ ගැටළුව විසඳා නොගතහොත් ඉදිරියේ එන ආහාර අහේනිය සහ සාගතය අතිශය බියකරු වූවක් විය හැකිය. එවන් අර්බුධයක් තුළ හේගල් පිළිබඳ ලැකානියානු කියැවීමක් ගැන උනන්දු වන්නේ කවරෙක්ද? වසංගතයෙන් හැඟවෙන්නේ දාර්ශනිකයෙකු ලෙස ශිෂෙක්ගේ කාලය අවසන්ව ඇති බවද? තම ප්‍රතිවාදීන් සේම මිතුරන්ද අසන මෙවන් ප්‍රශ්නවලට ශිෂෙක්ගේ ප්‍රතිචාරය මෙහි පළ වන ඔහුගේ කෘතියේ හැඳින්වීම තුළ අන්තර්ගත වේ.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් අර්බුදයට අප ප්‍රතිචාර දක්වන්නේ කුමන ප්‍රවේශයකින්ද යන්න රඳා පවතින්නේ අපගේ ලෝක දැක්ම අනුව බවයි. පරම නිදහස්වාදියෙකු කවර තත්ත්වයක් යටතේදී වුවත් මුහුණු ආවරණ පැළඳීම පවා ප්‍රතික්ෂේප කරනු ඇත; අධිකාරීවාදියෙකු දැඩි රාජ්‍ය පාලනය සහ නියාමනය මත විශ්වාසය තබනු ඇත; නව අධ්‍යාත්මවාදියෙකු වසංගතය තුළ සැඟවුණු සොබාදහමේ පණිවිඩ තේරුම් ගන්නට ප්‍රයත්න දරනු ඇත. ඒ අනුව, වසංගතය විසින් වෙනස් ලෝක දැක්මවල් අතර ගැටුමක්ද නිර්මාණය කොට තිබෙන බව ශිෂෙක් පවසයි. එබැවින්, මේ මොහොතේ අර්බුධයට විසඳුම් සෙවීමේදී අප සියල්ලන්ම දාර්ශනිකයින් විය යුතු යයි ඔහු යෝජනා කරයි.

ඉහත ශිෂෙක් දර්ශනවාදය පිළිබඳව ඉදිරිපත් කරන අදහස අන්තෝනියෝ ග්‍රාම්ස්චි පොදු ජන අවබෝධය (common sense) සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීම සමග අතිශයින්ම සමාන බව පෙනේ. එය “සියළු මිනිසුන් දාර්ශනිකයන් වේ” ය යන ග්‍රාම්ස්චිගේ ප්‍රවාදය සිහි ගන්වයි. සියළුම දෙනා දාර්ශනිකයින් වන්නේ සියල්ලන්ටම ජීවිතය සහ ලෝකය පිළිබඳ කිසියම් දැක්මක් තිබේය යන අරුතිනි. එම දැක්ම ප්‍රකාශයට පත් වන්නේ පුරාවෘත්ත, ආප්තෝපදේශ, ආගමික විශ්වාස සහ ප්‍රශ්න නොකර පිළි ගනු ලබන සමාජ සම්මතයන් යනාදිය ඔස්සේය. ග්‍රාම්ස්චි එම පොදු ජන ජීවන දැකුම් “දාර්ශනිකයින්” නොවන අයගේ දර්ශනවාද ලෙසද හැඳින්වීය. සැබෑ දාර්ශනික අරගලය ඇත්තේ පොදු ජන අවබෝධයන් ලෙස ප්‍රකාශයට පත් වන්නා වූ එවන් අධිපති දර්ශනයන් පරිවර්තනයට ලක් කිරීම සම්බන්ධයෙනි. ශිෂෙක් වත්මනෙහි කාටත් තේරෙන බසින් අස්වනු නෙළීමේ ප්‍රශ්නය ගැන ලියමින් සිටින්නේ දර්ශනවාදයේ දේශපාලන අදාළත්වය පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය අපට සිහියට නංවමිනි. ඔහු අප සියලුම දෙනා දාර්ශනිකයින් විය යුතු යැයි පවසන විට ඉන් අදහස් වන්නේ ප්‍රභූ ශාස්ත්‍රීය දර්ශනවාදයක් සමග අනන්‍ය වීමක් නොව පොදු ජනයාගේ දෛනික ජීවිතය සංවිධානය කොට තිබෙන ව්‍යවහාරික දර්ශනවාදයන් විචාරය කිරීමේ සහ පරිවර්තනය කිරීමේ භාවිතයකි.

එවන් භාවිතයකදී මග හැර යා නොහැකි කේන්ද්‍රීය ගැටළුවක් පළමුව ශිෂෙක්ගේ අවධානයට ලක් වේ. එනම්, වසංගතයේ ව්‍යාප්තිය සමග තියුණු ලෙස ඉස්මතු වෙමින් පවතින සමාජ පන්ති අසමානත්වය පිළිබඳ ගැටළුවයි. දැන් එය තවදුරටත් රහසක් නොවේ. පන්තිමය වෙනස්කම් වසා ලූ දෘෂ්ටිවාදී අලංකාරෝක්ත්තීන් අර්බුධය හමුවේ ඉරී යමින් පවතී. ශිෂෙක් නිදසුන් ගණනාවක් මගින් පෙන්වා දෙන්නේ වසංගතයේ කෙම්බිමක් බවට කම්කරු, ගොවි සහ සංක්‍රමණික ප්‍රජාවන් පරිවර්තනය වී ඇත්තේ කෙසේදැයි යන්නය. වත්මනෙහි ශ්‍රී ලංකාවේ තත්ත්වයද මීට සමානය. පළමුව ඇඟලුම් කම්කරුවන්ද, දෙවනුව ධීවර ප්‍රජාවද වසංගතයේ ප්‍රහාරයට ඉලක්ක විය. වසංගතය මැඩලීමේ අධිකාරීවාදී ප්‍රවේශය තුළ නාගරික සහ ග්‍රාමීය දුගීන් එක් විටම විරැකියාවට, සාගතයට, අගුළු ලෑමට, රෝගය වැළඳීමේ තර්ජනයට, රෝගය පැතිරවීමේ චෝදනාවට සහ වාණිජ මාධ්‍ය මගින් ගර්හාවට ලක් කිරීමේ අවදානමට ගොදුරු කෙරී ඇත. ගෝලීය ව්‍යසනයක දේශීය තතු එබඳුය.

සමකාලීන ලෝකයේ අග්‍රගණ්‍ය ලැකානියානු මාක්ස්වාදී දාර්ශනිකයා අපට යෝජනා කරමින් සිටින්නේ මේ සංයුක්ත තත්ත්වය වටහා ගන්නට නම් අප දර්ශනවාදය මහ පොළොවට රැගෙන ආ යුතු බව නොවේද?

———— | ———— | ———— | ———— | ———— | ———— | ————

හැඳින්වීම

දාර්ශනිකයෙකු අස්වනු නෙළීම ගැන ලිවිය යුත්තේ ඇයි?

“වයඹින් උතුරු දෙසට වන්නට” (North-by-Northwest: මේ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපටයක නමකි – පරිවර්තක) කිසියම් දෙයක් පිළුණු වී යයි. මා මෙහිලා අදහස් කරන්නේ හිච්කොක්ගේ සම්භාව්‍ය චිත්‍රපටය නොව ජර්මනියේ වයඹින් උතුරු දෙසට වන්නට පිහිටා ඇති ගුටස්ලෝ නගරය යි; 2020 ජූනි මස මැද භාගයේදී එහි විසූ මාංශ සැකසුම් කම්හලක කම්කරුවන් 650 කට අධික පිරිසකට කොවිඩ්-19 ආසාදනය වූ අතර දැන් දහස් ගණනක් දෙනා නිරෝධානයට ලක් කෙරෙමින් පවතී. සුපුරුදු ලෙස අප මේ ගණුදෙණු කරමින් සිටින්නේ පංති විභේදනය සමගයි: ආනයනය කළ විදේශික කම්කරුවන් අනාරක්ෂිත කොන්දේසි යටතේ අපිරිසිදු රැකියාවක නිරත වෙමින් සිටී. ඒ දුර්ගන්ධය ලොව පුරාම පැතිර යමින් පවතී. 2020 වසරේ වසන්තයේ අග භාගයේදී දකුණු ජනපදයක් වන ටෙනසීහි කිසිවක් පිළුණු වී යමින් තිබේ. ඒ නෙළා නොගත් එළවලු සහ පළතුරු ටොන් ගණනකි. ඒ ඇයි? ටෙනසීහි එක්තරා ගොවිපළක එක් කම්කරුවෙකුට කොවිඩ් ආසාදනය වූ පසුව ආසන්න වශයෙන් 200 වූ සමස්ත ශ්‍රම බලකායටම එය වැළඳීම නිසාය.

මේ වසංගතය ආහාර සැපයුම කෙරෙහි ඇති කළා වූ තර්ජනය පිළිබඳ නිදසුන් රාශියෙන් එකක් පමණි. අතින් නෙළිය යුතු පලදාව රඳා පවතින්නේ දහස් ගණනක් වූ වාරිකමය සහ වැඩි වශයෙන් සංක්‍රමණික කම්කරුවන් මතය; ඔවුන් ගමනාගමනයේ යෙදෙන්නේ සෙනඟ පිරුණු බස් රථවලය; නිදන්නේ තදබදයෙන් යුත් ශයනාගාරවලය. ඒ වනාහී කොවිඩ්-19 ආසාදනයට කෙම්බිමකි. පල වැල මේරූ විට අස්වැන්න නෙළා ගැනීම සම්පූර්ණ කර ගැනීමට ඇත්තේ ඉතාම කුඩා කාල සීමාවක් බැවින් රෝගය ආසාදනය වීම තවත් ඉහළ නගිනු ඇති බව නිසැකය. මේ වාරික කම්කරුවන් සිටින්නේ ඉතාම අසරණ තත්ත්වයකය. ඔවුනට කරන්නට ඇත්තේ අසීරු සහ අනාරක්ෂිත වැඩ කටයුතුය; ඔවුන් උපයන්නේ සොච්චමකි; ඔවුනගේ සෞඛ්‍ය පහසුකම් කෙලෙසකවත් ප්‍රමාණවත් නැත; බොහොමයක් දෙනාගේ සංක්‍රමණික තත්ත්වය නීති විරෝධීය. මේ වසංගතය විසින් පන්ති වෙනස හෙළිදරව් කරනු ලැබීම සඳහා තවත් නිදසුනකි. අප සියල්ලන්ම සිටින්නේ එකම බෝට්ටුවක නොවේය යන යථාර්ථය සඳහා නිදසුනකි.

මෙවන් සිදුවීම් දැන් ලොව පුරා ඉතා සුලභය. දකුණු ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ එළවළු සහ පළතුරු පළදාව නෙලන්නට ප්‍රමාණවත් තරම් මිනිසුන් නොමැත; ෆ්ලොරීඩාවේ ටොන් ගණනක් දොඩම් නරක් වෙමින් යයි; මෙවැනිම ගැටළු එක්සත් රාජධානියෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන් සහ රුසියාවෙන්ද සොයා ගත හැකිය. වසංගතය කරණ කොටගෙන අප මුහුණ පා සිටින්නේ සාමාන්‍යයෙන් අබූතරූපී ධනවාදී අර්බුදයකට ය; වැඩෙහි යෙදෙන්නට කැමති කම්කරුවන් දහස් ගණනක් වැඩෙහි නිරත වන්නට නොහැකිව ඔහේ බලා සිටින අතර, ටොන් ගණනක පළදාව කෙත් වතුවල නරක් වී යයි.

මෙවන් අසීරුතා විසින් බාධාවට ලක්ව තිබෙන්නේ අස්වනු නෙළීම සහ බෙදාහැරීම පමණක් නොවේ. පැළෑටිවල වැඩීම කෙරෙහිද බාධා එල්ල වී තිබේ. දැන් පළඟැටියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට නියඟයෙන් ද තර්ජනයට ලක්ව ඇති ඉන්දියාවේ බටහිරදිග ප්‍රදේශ දක්වා අස්වනු විනාශ කරමින් සිටී. මේ සියල්ල සාරාංශ කළ හොත්, අප සෘජු සාගතයකට නොවේ නම් සැලකිය යුතු ආහාර හිඟතාවක් ඇති වීමේ තත්ත්වයකට මුහුණ දෙමින් සිටින්නෙමු; මෙසේ වන්නේ තුන් වන ලෝකයේ රටවල් තුළ පමණක් නොවේ. අපගේ සුපුරුදු ස්ට්‍රෝබෙරි පෙට්ටිය සඳහා මදක් වැඩිපුර මුදලක් ගෙවන්නට සිදුව තිබෙන අපගෙන් ඔබ්බට මේ ගැටළුව ගමන් කරයි. තත්ත්වය අපේක්ෂා විරහිත වූවක් නොවේ. නමුත්,ඉක්මන් සහ ජාත්‍යන්තරව සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් අවශ්‍ය ය. කෙත්වතුවල වැඩ කිරීම සඳහා ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන්නන්ගෙන් උදව් ඉල්ලා සිටීමට වඩා වැඩි දෙයක් අවශ්‍ය ය. අර්බුදය වළක්වා ගැනීම සඳහා ජනතාව බල මුළු ගැන්වීමට ආණ්ඩුවේ ආයතන මැදිහත් වීම අවශ්‍ය ය.

මේ මොහොතේදී මගේ විවේචකයින්ගේ (සහ මිතුරන්ගේ) සිනා හඬ මට ඇසේ. ඔවුන් සමච්චල් ස්වරයෙන් සඳහන් කරන්නේ දාර්ශනිකයෙකු ලෙස මගේ කාලය අවසන් වී තිබේය යන්න වසංගතයෙන් අදහස් වනවා නොවේද යන්නයි: අපගේ පැවැත්මේ පදනම් තර්ජනයට පත්ව ඇති විට හේගල් පිළිබඳ ලැකානියානු කියැවීමක් ගණන් ගන්නේ කව්ද? දැන් ශිෂෙක්ට පවා අස්වනු නෙළන්නේ කෙසේද යන කාරණය ගැන අවධානය යොමු කරන්නට සිදුව තිබේ.

නමුත්, මෙම විවේචකයින් එතරම් වැරදි විය නොහැකිය. පවත්නා වසංගතය විසින් මතුපිට තලයට යටින් කැකෑරෙන සමාජ සහ ආර්ථික ගැටුම් පිටතට ගෙනෙනු ලැබ තිබෙනවා පමණක් නොවේ; එය සුවිශාල දේශපාලන ගැටළුවලට අපව අභිමුඛ කොට තිබෙනවා පමණක් නොවේ. එය එන්ට එන්ටම සමාජය පිළිබඳ ගෝලීය දැක්මවල් අතර සැබෑම ගැටුමක් බවටද පත්ව තිබේ. අර්බුදයේ ආරම්භයේදී පෙනී ගියේ වඩාත්ම තර්ජනයට පත් වූවන්ට සහාය දීම වර්ධනය වීමත් සමග කිසියම් ආකාරයක මූලික ගෝලීය සහයෝගීතාවක් දිගටම පවතීය කියාය. කෙසේ වුවත්, ජෝන් ආතර්ස් පවසන පරිදි, මෙම සහයෝගීතාව ක්‍රම ක්‍රමයෙන් “දරුණු කල්ලිවාදයක් සහ සංස්කෘතික සංග්‍රාමයක් කරා හැරී තිබෙන්නේ” පසමිතුරු සදාචාර මූලධර්ම පාරභෞතික අත් බෝම්බ සේ එකිනෙකාට දමා ගසමිනි. වෙනස් රටවල් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් අනුගමනය කරන අතර එක්සත් ජනපදය දැනටමත් ජාතීන් දෙකක් බවට බෙදී ඇත; ඒ මුහුණු ආවරණ පළඳින්නන් සහ නොපළඳින්නන් අතර වන බෙදීමයි.

මේ අර්බුදය වනාහී යමෙකුට පහසුවෙන් මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන්නන්ව හාස්‍යයට ලක් කළ නොහැකි ආකාරයේ බරපතල සාංදෘෂ්ටික අර්බුදයකි. ඇරිසෝනාහි සාමීචි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන බ්‍රෙන්ඩන් ඩිලී ඔහු මුහුණු ආවරණ නොපළඳින්නේ මන්දැයි පැහැදිලි කරන්නේ මෙසේය; “ජෝකරයෙකු වනවාට වඩා හොඳයි මැරෙන එක; ඔව්, මම ඒක ඇත්තටමයි කියන්නේ. මම මෝඩයෙක් වගේ පේනවට වඩා මැරෙන්න ලෑස්තියි, දැන් උනත්.” ඩිලී මුහුණු ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කරන්නේ ඔහුට අනුව මුහුණු ආවරණ පැළඳීම ඉතාම මූලධාර්මික තලයකදී මානව ගරුත්වයට නොගැලපෙන්නක් වන බැවිනි.

දැන් අස්වනු නෙළීම ගැන ලිවීම දාර්ශනිකයෙකුට මුළුමනින්ම උචිත දෙයක් වන්නේ එනිසාය: අප මේ ගැටළුව සමග ගණුදෙණු කරන ආකාරය අවසාන වශයෙන් රඳා පවතින්නේ මානව ජීවිතය පිළිබඳ අපගේ මූලික ස්ථාවරය මතය. අප අපගේ පුද්ගලික නිදහසට බාධා කරන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කරන ඩිලී වැනි නිදහස්වාදීන්ද? අප බහුතර ජනයාගේ ආර්ථික සුබසෙත සඳහා දහස් ගණනක් ජීවිත පූජා කරන්නට සූදානමින් සිටින ප්‍රයෝජ්‍යතාවාදීන්ද? අප අපව ගලවා ගත හැක්කේ ශක්තිමත් රාජ්‍ය පාලනයක් හා නියාමනයක් මගින් පමණක් යැයි විශ්වාස කරන අධිකාරීවාදීන්ද? අප මේ වසංගතය යනු සොබාදහමේ අනතුරු හැඟවීමක්, සොබාවික සම්පත් සූරාකෑම සඳහා ලැබුණු දඬුවමක් යැයි සිතන නව යුගයේ අධ්‍යාත්මවාදීන්ද? දෙවියන් හුදෙක් අපව පරීක්ෂාවට ලක් කරන්නේ යැයිද අන්තිමේදී අපට මගක් සොයා ගන්නට දෙවියන් උදව් කරනු ඇතැයිද අප විශ්වාස කරනවාද? මේ සෑම ස්ථාවරයක්ම මානව වර්ගයා යනු කුමක්ද යන්න පිළිබඳ සුවිශේෂී දැක්මක් මත රඳා පවතී. ඒ තාක් දුරට, අර්බුදය විසඳිය යුත්තේ කෙසේදැයි යෝජනා කිරීමේදී අප සියල්ලන්ම දාර්ශනිකයන් විය යුතුය.

– පරිවර්තනය: සුමිත් චාමින්ද