Posted on 06.10.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය 2021 දෙසැම්බර් 21 දක්වා දීර්ඝ කිරීමේ තීරණයක් 2021 ජුනි මස 02 වන දින පවත් වන ලද ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටු රැස්වීමේදී ලබා නොගත් බව නිදහස් වෙළද කලාපයේ වෘත්තිය සමිති හතරක් ජුනි 7 සදුදා කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්තී වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
වැටුප් ගෙවීමට ලබා දී ඇති සහනය 2021 දෙසැම්බර් 21 දක්වා දීර්ඝ කිරීමට කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ත්‍රෛපාර්ශවිය කෝවිඩ් 19 කාර්ය සාධක බලකාය තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රාජකාරි සඳහා නොකැදවන පෞද්ගලික අංශ සේවකයන්ට වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500ක් ගෙවීමට පසුගිය වසරේ පැවැති ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටු රැස්වීමේ දී හාම්පුතුන්ගේ සංගම් සමග එකගතාවයන් ඇති කරගෙන තිබුණි.
රටේ පැවැති වසංගත තත්වයේ ව්‍යාප්තියත් සමග කලින් කල එම කාල සීමාව දීර්ඝ කර තිබුනි. කෙසේ නමුත් වෘත්තිය සමිති නායකයන් අවධාරණය කරන්නේ සේවකයන්ට අඩ වැටුප් ගෙවීමේ යෝජනාවට මෙවර තමන් එකගත්වය පළ කර නොමැති බවයි.
ත්‍රෛපාර්ශවිය කෝවිඩ් 19 කාර්ය සාධක බලකාය යනුවෙන් අදහස් කෙරෙන්නේ වසංගත සමයේ කර්මාන්තශාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය, කම්හල් හිමියන් සහ වෘත්තීය සමිති එක්ව පිහිටුවාගෙන ඇති සභාවයි.
එම වැටුප් ක්‍රමය මාස 6ක් දීර්ඝ කරණ ලෙස සේවා යෝජක නියෝජිතයන් යෝජනා කළ ද ඒ පිළිබඳව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් සිය වෘත්තීය සමිති වලින් අදහස් විමසා සිටි අවස්ථාවේ දී වෘත්තිය සංගම්වල ඒකමතික තීරණයක් නොතිබු බැවින් හැකි ඉක්මණින් ජාතික කම්කරු උපදේශක සභාවේ සියඵම වෘත්තීය සමිති කැඳවා ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසීමෙන් පසුව තීරණයක් ගැනීමට එහිදී එකඟ වු බවයි වෘත්තිය සමිති සඳහන් කර තිබේ.
තත්ත්වය එසේ තිබිය දී කම්කරු කොමසාරිස්වරයා විසින් එම වැටුප් ක්‍රමවේදය දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටුව තීරණය කළේ යයි ප්‍රකාශ කිරීම නිවැරදි නොවන සහ නොමග යවන සුඵ ප්‍රකාශ කිරීමක් වන බැවින් එය නිවැරදි කර මාධ්‍ය වලට ප්‍රකාශයක් නිකුත් කරන මෙන් මෙම වෘත්තීය සමිති ඉල්ලා තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට එම ලිපිය යොමු කර ඇත්තේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාර්කස් ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහ ජාතික වෘත්තිය සමිති සම්මේලනයේ මහ ලේකම් පද්මසිරි රණවකආරච්චි විසිනි.