தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
වැලිකඩ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ට මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබාදීම ගැන අධිකරණයෙන් අවවාද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැලිකඩ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ට මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබාදීම ගැන අධිකරණයෙන් අවවාද



නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහි විත්තිකරුවන්ට අවවාද කර තිබේ.

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන අය දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණ මාධය හමුවේ කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක කළ දැනුම් දීමක් සළකා බැලු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එලෙස අවවාද කළේය.

මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (26) කැඳවන ලදී.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ විත්තිකරුවන් දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.

ඔවුන් එලෙස කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇතැයිද ඔවුන් ඒ අවස්ථාවේදී කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක එලෙස අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සළකා බැලු විනිසුරු මඩුල්ල විත්තිකරුවන් මාධ්‍ය හමුවේ දැක්වු අදහස් වලින් අධිකරණයට අපහාස සිදුවී ඇති බව පැමිණිල්ලෙන් දැනුම් දී ඇතත් ඒ බව සනාථ කිරීමට මේ අවස්ථාවේදී විස්තර ඉදිරිපත් කොට නැතැයි සඳහන් කළේය.

එහෙයින් මේ පිළිබඳව සාක්කි සහිතව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩු විභාගයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.