தமிழ்
English
Contact
Saturday 19th June 2021    
විකිරණශීලි ද්‍රවය සමඟ හම්බන්තොට වරායට පැමිණි චීන නැව හරවා යවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විකිරණශීලි ද්‍රවය සමඟ හම්බන්තොට වරායට පැමිණි චීන නැව හරවා යවයි



හම්බන්තොට වරාය වෙත පැමිණිලි විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු නෞකාව වරායෙන් ඉවත් කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය දැනුම් දී තිබේ.

එම වරායට අනවසරයෙන් ඇතුළු වී තිබෙන චීන නෞකාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ අනුමැතියකින් තොරව පැමිණ තිබෙන අතර ඒ අනුව වරායෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බව පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.

මේ නෞකාවේ විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට හෙළි වී තිබෙන අතර, හම්බන්තොට වරායට ආසන්න ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී එම නැව යාන්ත්‍රික දෝෂයකට ලක් වී තිබිණි. අනතුරුව, එම නැවේ බලධාරීන් හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ඉල්ලා ඇත්තේ යාන්ත්‍රික දෝෂය යථා තත්ත්වයට පත් කර ගැනීමට බව වාර්තා වෙයි.

කෙසේ වුවද නැව ගැන පරීක්ෂා කළ විට එහි විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කර ඇති බව හඳුනා ගෙන ඇති අතර, එබැවින් නැව වරායෙන් ඉවතට ගෙන යන ලෙස දන්වා තිබේ. එම නෞකාවේ දේශීය ඒජන්තවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.

පෙරේදා (20) රාත්‍රියේ හම්බන්තොට වරායට පැමිණ ඇති මේ නෞකාව නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූවකි.

එහෙත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු නිසි පරිදි දී නොමැති අතර, මේ අනුව නෞකාව හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය දැනුම් දී තිබේ.