தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
විද්‍යාපීඨ ගුරුවරු 4000ක පත්වීම් වියවුල් සහගතයි! - ජෝසප් ස්ටාලින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විද්‍යාපීඨ ගුරුවරු 4000ක පත්වීම් වියවුල් සහගතයි! – ජෝසප් ස්ටාලින්



2015 වසරේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන්ට පත්වීම් ලබාදීමේදී ගුරුවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නොතකා පාසල්වලට අත්තනෝමතික ආකාරයට ගුරුවරුන් ස්ථානගත කිරීමෙන් බරපතල වියවුල්කාරී තත්වයක් නිර්මාණය වී ඇත.

මේ නිසා අරලියගහ මන්දිරයට කැඳවා අගමැති විසින් පත්විම් ලිපි ප්‍රදානය කළ ගුරුවරු 4286 කට, ගැටලු මතුව තිබේ.

2015 මැයි මස 08 දිනැති අංක 1914 ගැසට් නිවේදයේ 6.1.1 ට අනුව 2015 වසරේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ගුරු සිසුන් බඳවා ගනු ලැබුවේ 2018 වසර වනවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පවතින පුරප්පාඩු ගණනය කොට එම පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහාය. එහිදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට තෝරා ගැනීමේ ඉසෙඩ් අගයද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙනස් විය. පුරප්පාඩු පවතින ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉසෙඩ් අගයේ කුසලතා අනුපිළිවෙලට තෝරාගනු ලැබීය. මේ තත්වය තුළ පුරප්පාඩු නොමැති පහසුකම් වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉහළ ඉසෙඞ් අගයක් ලබාගත් සිසුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා තෝරාගනු නොලැබුණි. මේ නිසාම වැඩි ඉසෙඩ් අගයක් ලබාගත් සිසුන්ට බඳවා ගැනීමේදී බරපතල අසාධාරණයක්ද සිදුවිය.

මෙම ගුරුවරු 4286 දෙනාගෙන් අඩකට වැඩි පිරිසක් ස්ථාන ගත කර ඇත්තේ ජාතික පාසල්වලය. පාසල් 10,174 න් ජාතික පාසල් 353 කට එවැනි පිරිසක් බඳවා ගෙන සෙසු පිරිස ඉතිරි පාසල්වල ස්ථාන ගත කිරීම බරපතල අසාධාරණයකි. තමන් ඉල්ලුම් කළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාසල් වෙනුවට ඌව ගුරුවරු බස්නාහිරටද, උතුරේ ගුරුවරු සබරගමුව හා වතුකරයටද, උතුරු මැද ගුරුවරු වෙනත් පළාත්වලටද ලෙස දුෂ්කර ප‍්‍රදේශවල ගුරුවරුන්ට වෙනත් ප‍්‍රදේශවලට පත්වීම් ලබා දී ඇත. මෙම ව්‍යාකූලතාවය නිසා පත්වීම්ලාභීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති අතර, ඊට විසඳුමක් ලබා දී නැත. දුෂ්කර ප‍්‍රදේශවල පුරප්පාඩු පවතිද්දී මෙලෙස පදනම් විරහිතව ස්ථාන ගත කිරීමෙන් දුෂ්කර ප‍්‍රදේශවල ගුරු හිඟයට තවදුරටත් පිළියමක් නොලැබේ.

නවක ගුරුවරු බඳවා ගැනීමේදී එම ගුරුවරු ස්ථානගත කිරීමට අදාළ ජාතික ප‍්‍රතිපත්තියක් නොමැති නිසා මෙසේ වියවුලක් නිර්මාණයවී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. නවක ගුරුවරු ස්ථාන ගත කිරීමට අදාළව ජාතික ප‍්‍රතිපත්තියක් සකසන ලෙස ලංකා ගුරු සංගමය දිගින් දිගටම අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීම් කරන අතර, ජනාධිපතිවරයාට මේ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.