தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථාන කිරීමෙන් ගුරු ශිෂ්‍යයන්ට හෙනහුරා පාත්වෙලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථාන කිරීමෙන් ගුරු ශිෂ්‍යයන්ට හෙනහුරා පාත්වෙලා!



කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ නැවත ආරම්භ කිරීමට නියමිත වුවද එහිදී ගුරු සිසු සිසුවියන්ට මහත් හිරිහැරයකට මුහුණ දෙන්නට සිදුව ඇති බව වාර්තා වේ.

දිවයිනේ සියලුම ආයතන සහ අධ්‍යාපන විද්‍යාපීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාලනාධිකාරියෙන් නිවේදනය කර ඇත්තේ ජනවාරි 15 වැනිදා සිට යළි විද්‍යාපීඨ වෙත පැමිණෙන ලෙසය. නමුත් වසංගත සමයේ එම විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතයට ගැනීමේදී වගකීම් විරහිත ලෙස කටයුතු කළ ආණ්ඩුවේ, හමුදාවේ හා විද්‍යාපීඨ බලධාරින් විසින් අධ්‍යයන කටයුතු හැර දමා නිවෙස් බලා ගිය ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උරුම කර ඇත්තේ ව්‍යසනයකි.

විද්‍යාපීඨ වසා දැමුණ ද අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරුණු නිසා ඔවුන්ට යම් සහනයක් තිබිණි. නමුත් ඔවුන් පාසලක ඉගැන්වීමට තරම් සුදුසුකම් ලබා ගැනීම සහ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු තෙවැනි වසරේ සීමාවාසික පුහුණුව සම්බන්ධ ගැටලුවකට මුහුණ දී සිටී. ඒ සඳහා පාසල්වල අනියුක්ත ගුරු ශිෂ්‍ය ක්‍රියාවලිය2021 ඔක්තෝබර් මස 24 දින සිට ආරම්භ විය යුතු වුවත්, එය පමා වූයේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ යටතේ විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යුද හමුදාව වෙත හා කොවිඩ් මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවරීම නිසාය.

එපමණක් නොව, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධානයට ලක්වූවන් විසින් ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බඩු බාහිරාදිය සොරකම් කරගෙන ගොස් නැතහොත් විනාශ කොට තිබේ. විද්‍යාපීඨ නේවාසිකාගාරවල දමා ගිය ගුරු පුහුණු පාඨමාලවලට අදාළ පොත්පත් මෙන්ම අනෙකුත් පෞද්ගලික බඩුබාහිරාදිය විශාල ප්‍රමාණයක් විනාශ කර දමා හෝ යළි භාවිත කිරීමට හැකි තත්ත්වයක නැති බව වාර්තා වේ.

ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර නිරෝධායන පහසුකම් සඳහා වෙන් කිරීමේදී  අනිසි ලෙස භාවිතකර ඒවායේ උපකරණ, ගෘහභාණ්ඩ මෙන්ම විදුලි උපකරණ කඩා බිඳ දමා ඇති බවත් පෞද්ගලික ද්‍රව්‍ය සොරකම් කිරීම නිසා හෝ නිසි ලෙස ආරක්ෂා සහිතව ගබඩා කර නැති නිසා විනාශයට පත්ව ඇත.
තත්ත්වයකට පත් ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
විද්‍යාපීඨ පාලනාධිකාරිය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන් නොදැනුවත්ව ඔවුන් භාවිත කරමින් සිටි නේවාසිකාගාර කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ලබා දුන්නේ නම්, සිය බඩුබාහිරාදියෙහි පූර්ණ රැකවරණය සම්බන්ධයෙන් පාලනාධිකාරිය වගකිව බවට ගුරු සිසුහු චෝදනා කරති.

ජනවාරි 15 වැනි දින යළි විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර වෙත වාර්තා කරන ලෙසත් මාස තුනක අධ්‍යයන කාලයක් සම්පූර්ණ කිරීමට පැමිණෙන විට පළමු වසරේ මෙන් සියලුම බඩු බාහිරාදිය, පොත්පත් අලුතෙන් මිල දී ගෙන පැමිණෙන ලෙසත් මේ වන විට විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාවට පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත.

ඒ ආකාරයට ඔවුන් රැගෙන ආ යුතු භාණ්ඩ ලැයිස්තුව සඳහා රුපියල් 40,000.00 පමණ වියදමක් වැය කිරීමට සිදුව ඇති බව විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාව මෙන් ම දෙමව්පියෝ පෙන්වා දෙති. පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විද්‍යාපීඨ පාලනාධිකාරියේ නොසැලකිලිමත් පාලනය හේතුවෙන් සිදුව ඇති තත්වයට වන්දි ගෙවීමට බලකරනු ලැබ ඇත.

විද්‍යාපීඨ සිසු සිසුවියන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින්ට මේ සම්බන්ධ අවනඩුව ලිඛිතව දැනුම් දී ඇතත් මෙතෙක් පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලැබී නැත.