தமிழ்
English
Contact
Friday 14th May 2021    
විදුහල්පති සේවයේ දේශපාලන පත්වීම්වලට පාර කපන කැබිනට් තීරණය අකුලා ගන්නා ලෙස ගුරු සංගම් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුහල්පති සේවයේ දේශපාලන පත්වීම්වලට පාර කපන කැබිනට් තීරණය අකුලා ගන්නා ලෙස ගුරු සංගම් ඉල්ලයි



විදුහල්පති සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු සදහා සේවා ව්‍යවස්ථාවලට පරිබාහිරව පත්වීම් ලබාදීමට ගනු ලැබු කැබිනට් තීරණය වහා අහෝසිකරන ලෙස ගුරු සංගම් ඉල්ලා සිටියි. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් වෙත ලිපියක් යොමු කරමින් අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අනතුරු අඟවා ඇත්තේ සතියක් ඇතුලත යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවයි.

අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව පවසන්නේ නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අධ්‍යාපනයට අදාළ සේවාවන් සදහා නිලධාරීන් බදවා ගැනීමෙන් එම සේවාවන් සදහා විධිමත් පරිදි ඇතුලත් වීමට සුදුසුකම් සම්පුර්ණ කර ඇති දක්ෂ නිලධාරීන් සදහා මෙන්ම සමස්ත අධ්‍යාපන පද්ධතියටම සිදු කරනුයේ බලවත් අසාධාරණයක් බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ව්‍යවස්ථානුකුලව තරග විභාග පවත්වා එම ලකුණු මත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීම් සිදු කිරීම සදහා වසරකට වැඩි කාලයක් ගත වන බව පවසමින් අධ්‍යාපන අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු 4600 කට පමණ නීති විරෝධී ලෙස පත්වීම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සදහා ද සේවා ව්‍යවස්ථාවට පරිබාහිරව නීති විරෝධිව 300 කට ආසන්න පිරිසක් බදවා ගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබෙන බව වාර්තා වේ.

අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව වෙනුවෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිතිය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, ස්වාදීන ලංකා ගුරු සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය, ලංකා විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය එම ලිපියට අත්සන් තබා තිබේ.