தமிழ்
English
Contact
Friday 14th August 2020    
විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීම නැවත ඇරඹීමට සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීම නැවත ඇරඹීමට සැරසෙයි



කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදෙස් රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත් ලබන සිකුරාදා (31) සිට ආරම්භ කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ පවසා තිබේ.

ඒ අනුව ලබන සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට ගුවන් යානා දෙකක් පැමිණීමට නියමිත බව පැවසේ.

කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයන් හමුවීම ඉහළ යාමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය. මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ලියාපදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් බලවත් අපහසුතාවලට ලක්විය.

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ රටවල ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වේ. ඔවුන් බොහෝදෙනා සිය කොන්ත්‍රාත් කාලය අවසන් කර නැවත පැමිණීමට නොහැකි වී සිටී. තවත් සැලකිය යුතු පිරිසක් වසංගත තත්වය හමුවේ සිය රැකියා අහිමිව සිටී. මේ පිරිස් වෙත ආහාර සහ සෞඛ්‍ය පහසුකම් නිසි පරිදි නොලැබෙන බව මෙම ශ්‍රමිකයන් චෝදනා කරයි.

පසුගියදා තමන් නැවත මව්බිමට ගෙන්වා ගන්නා ලෙස බලකරමින් විරෝධතාවයේ නිරතවූ ජෝර්දානයේ සේවයේ නියුතු කාන්තාවන් පිරිසකට එරට ලංකා තානාපති කාර්යාලයේ උසිගැන්වීම මත පොලිස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.