தமிழ்
English
Contact
Thursday 21st March 2019    
විපක්ෂනායක ධුරයෙන් හෙළිවන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විපක්ෂනායක ධුරයෙන් හෙළිවන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත!



(කුමන්ත්‍රණ රාජාය කළ බවද අර්බුද සමනය කළ බවද දේශපාලන කේවට්ටයන් විසින් වගාඩම්බර කියනු ලැබේ. විරෝධතාකරුවන්ට ඇමෝනියා සහ කදුලුගෑස් සමගින් පන්න පන්නා පහර දෙන තරමට ප්‍රජාතන්ත්‍රවාදයද ස්ථාපිතව ඇති බව සැලයි. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් තත්වය තවත් අතකට මාරු වී ඇත. සම්බන්ධන් වෙනුවට මහින්ද විපක්ෂනායක වීමේ අර්ථ පැහැදිලි කරන්නට අප කළ ආරාධනයෙන් හිතවත් මාධ්‍යවේදියකු විසින් සටහන් කළ මේ ලිපිය පළ කරමු. වෙනත් ආයතනයක සේවය කරමින් ලියන නිසා ඔහු ආරූඪ නමකින් පෙනී සිටියි.)

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකධුරයට පත්කිරීමත් සමගම සිහිපත් වන්නේ 2015 අගෝස්තු මහමැතිවරණයෙන් පසුව විපක්ෂ නායක ධුරය අර්.සම්බන්ධන්ට ලබා දීම සම්බන්ධයෙන් රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂය ගෙන ගිය ඝෝෂාවයි. මන්ත්‍රි ආසන 16ක් පමණක් හිමි දෙමළ ජාතික සන්ධානයට විපක්ෂනායක ධුරය ලබාදීම මහින්ද රාජපක්ෂගේ අතවැසි දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ විශේෂයෙන් රාජපක්ෂවාදී මන්ත්‍රිවරුන්ගේ මහත් කම්පාවට හේතු විය. සම්බන්ධන් විපක්ෂ නායකකමට සුදුසු නැති බවට ගෙන ගිය තර්ක අතර ඔහුගේ වයස පවා හුවා දක්වනු ලැබිණි. එහෙත් දැන් විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂට හිමිවීම අර්ථ දක්වන්නට ක්‍රමයක් තිබේදැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

මන්ද යත් එක්සත් ජනපතා නිදහස් සන්ධානයේ නියෝජිතයකු ලෙස විපක්ෂ නායක ධුරය ඔහුට ලබා දීම සහ ඇතැමුන් එය සාධාරණිකකරණය කිරීමම ජුගුප්සාජනක තත්වයක් බව, දේශපාලන පක්ෂ සම්බන්ධ සත්‍ය කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් කරුනු දක්වන නිරීක්ෂකයන්ගේ අදහසය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එහි බහුතර මන්ත්‍රි ධුර සහිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස 2015 අගෝස්තු මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පත්වූයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිතයකු ලෙසය. එසේ පත්වූ ඔහු පසුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නමැති පක්ෂයක නිල නොවන නායකයා වශයෙන් කටයුතු කළ අතර පසුගිය පෙබරවාරි පළාත්පාලන මැතිවරණයේදී එම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ප්‍රසිද්ධියේ ඍජු ලෙස සම්බන්ධ වෙමින් ශ්‍රිල.නි.ප. පක්ෂයේ දැවැන්ත පදාසයක් ගලවාගනු ලැබිණි. පොහොට්ටුව බිහිකළ පසුව වර්ෂයක කාලයක් දේශපාලන කටයුතු කර වැඩිම පලාත්පාල ආසන සංඛ්‍යාවක් හිමිකර දීමට රාජපක්ෂවාදීන් ජාතිවාදී දේශපාලනයෙන් දායක විය. ඒ සියල්ල සිදුවෙද්දී මහින්ද රාජපක්ෂ ශ්‍රිල.නි.ප. අනුශාසක විය. ශ්‍රිල.නි.ප.  සභාපති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෝ ඔහුගේ සමීපතමයකු ලෙස ශ්‍රිල.නි.ප.  ලේකම්ධුරයට පත් වූ දුමින්ද දිසානායක ඒ සම්බන්ධයෙන් ශ්‍රිල.නි.ප. ව්‍යවස්ථාව අනුව කටයුතු කළේ නැත. ශ්‍රිල.නි.ප. සාමාජිකයන්ටද ඒ ගැන ප්‍රශ්නයක් තිබුණේ නැත.

ධනපති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇත්තේම දේශපාලන පක්ෂ නමැති සංවිධාන සහ ඒවා මගින් පත්වන ජනතා නියෝජිතයන් විසින් ජනතාව මත පටවමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියන මහ බක්ක ඔසවා ගෙන යන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිහිටෙනි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදය අනුව, මහින්ද රාජපක්ෂ සිදුකර ඇත්තේ පක්ෂයක සාමාජිකයකු ලෙස හිදිමින් සිය කාලය, ශ්‍රමය හා ධනය වැය කරමින් වෙනත් පක්ෂයක් බලයට පත් කිරීමට වැඩ කිරීමය. එහිදී ඔහු ශ්‍රිල.නි.ප. ව්‍යවස්ථාව කිසිදු සැළකිල්ලකට ගෙන නැත. අප දන්නා ආකාරයට සාමාන්‍ය සමිති සමාගමක වුවද සාමාජිකත්වය ගන්නේ නම් එම සමිතියේ ව්‍යවස්ථාවට අනුව, එම සමිතියේ අරමුණු ආරක්ෂා කිරීම හා විශේෂයෙන් එම අරමුණු බිද දැමීමෙන් වැලකීම සාමාජික වගකීමය. එවැනි වරදක් සිදුව ඇත්නම් සාමාජිකත්වය අහිමි කිරීම දක්වා විනය ක්‍රියාමාර්ග සමිති සමාගම්වල ඇත. දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කිරීමේදී මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කරන ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරන දේශපාලන පක්ෂයක් ජනතාවට වග කියන දේශපාලන පක්ෂයක්දැයි දේශපාලන විචාරකයන් විසින් ප්‍රශ්න කරමින් තිබේ. එවැනි ‘ව්‍යවස්ථා විරෝධි” කටයුතු සම්බන්ධයෙන් ශ්‍රිල.නි.ප. තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට නොහැකි වුයේ ඇයි? එය රාජපක්ෂ පාලන සමය වනවිට ශ්‍රිල.නි.ප.යට අත්වූ ඉරණමේ පිළිබිඹුවකි. පවුල්වාදයෙන් පක්ෂය පාලනය කළ මහින්ද කිසිදු විරුද්ධවාදියකුට පක්ෂයේ තනතුරු ලබන්නට නොහැකි තත්වයක් ඇතිකළ අතර එහෙයියන් මිස ශ්‍රිල.නි.ප. පහළ මට්ටමින් නැග එන නායකත්වයක් එහි නොවීය. පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති තත්වයක් යටතේ එහෙයියන් විසින් ශ්‍රිල.නි.ප. අරක්ගෙන තිබිණි. මෛත්‍රිපාල සිරිසේන අගමැතිධුරයට පත්කළ යුතු අයකු වුවද ඔහු කපා හැරිණි. අවසානයේ මෛත්‍රි 2014 නොවැම්බර් ශ්‍රිල.නි.ප. හැරයාමේ රහසද රාජපක්ෂවාදයේ පිළිකාව විසින් ශ්‍රිල.නි.ප. අකර්මණ්‍ය කර තිබීමය.

ධනපති දේශපාලන පක්ෂවල නායකයන් හිතු මනාපයට වැඩ කරන ඡන්දය දෙන ජනතාවට පයින් ගසා බලය වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් කරන තත්වයක් ඇති බව පිළිගත් සත්‍යයකි. එය විශේෂයෙන් ධනේශ්වර බල ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංගයකි. දැන් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රිල.නි.ප. විනාශය කරා ගෙනගොස් තිබෙන තත්වය යටතේ අද එහි සභාපතිවරයා ලෙස මෛත්‍රිපාලට අවශ්‍ය සංවිධායකයන් පත්කරමින් රාජපක්ෂවාදය වෙනුවට සිරිසේනවාදයක් එහි ස්ථාපිත වෙමින් තිබේ. එහෙත් ජනාධිපති සිරිසේනට ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් බල දේශපාලන වැඩපිළිවෙළක් නිසා මහින්ද රාජපක්ෂ අගමැති කරමින් ඔහු සතු ජාතිවාදී දේශපාලන ශක්‍යතාවන් සිය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණයට භාවිත කිරීමේ උපක්‍රමික ප්‍රවේශයකි. මහින්ද රාජපක්ෂ අගමැතිකර එය සාර්ථක කරග්නට ඔහු අසමත් වුවද වෙනත් මගක් ඔහුට ඉකිරිව නැත. නොවැම්බර් 11 වැනිදා මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් පසුවද ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගත් ශ්‍රිල.නි.ප.යක් පවතින්නේ එබැවිනි.

කෙසේවුවද ආණ්ඩුක්‍රම වයවස්ථාවේ වගන්ති අනුව නම් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රිවරයකු එකී දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය අත්හළ විට එකී මන්ත්‍රි අසුන පුරප්පාඩු වන අතර එම මන්ත්‍රිවරයා නියෝජනය කළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් එකී පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට තම පක්ෂයේ අපේක්ෂකයන් අතුරින් මීළගට ජනතාව වැඩිම මනාපයක් හිමිකර දුන් අපේක්ෂකයා නම්කර ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දිය යුුතුව ඇත.  ඒ අනුව, ශ්‍රිල.නි.ප. ව්‍යවස්ථානුකූල පක්ෂයක් නම් මේ වන විටත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී හමාරවී තිබිය යුතුය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම යනු ඉතා පැහැදිලිව ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමකි. මහින්ද 24 වැනි වියේදී 1970 මහමැතිවරණයට බෙලි අත්ත ආසනයෙන් අපේක්ෂකයකුව පළමුවෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි. වසර 48කට පසුව, 2018 නොවැම්බරයේදී ඔහු එකී දේශපාලන ගමනේ පළමු පියවරම ආපස්සට ගෙන තිබේ.

2015 අගෝස්තු මහමැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිධුරයකට මහින්ද රාජපක්ෂ පත්වන්නේ එම සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ශ්‍රීල.නි.ප.  සාමාජිකයකු ලෙසය. ශ්‍රීල.නි.ප. වෙනුවෙන් එ.ජ.නි.ස. ලැයිස්තුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට නාම යෝජනා දී පත්වූ මහින්ද රාජපක්ෂ ඒ නිසා තවදුරටත් මන්ත්‍රිවරයකු ලෙස පිළිගන්නට ව්‍යවස්ථානුකූල ඉඩක් නැත. ඒ අනුව, එම මන්ත්‍රීවරයා ඉවත් කර ඇති බව හා ඔහු වෙනුවට වෙනත් අයකු පත් කරන බව පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දීමේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට තිබේ. එම සන්ධානයේ මහලේකම් ධුරය දරන්නේ මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ සහචර මහින්ද අමරවීර ය. ඔහු සන්ධානයේ ලේකම් ලෙස එසේ නොකර සිටීම පිළිගත් දේශපාලන පක්ෂයක/සන්ධානයක ලේකම්වරයකු ලෙස වගකීම් පැහැරහැරීමකි. එය හුදු පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවේ. පාර්ලිමේන්තුව හා වෙස්ට්මිනිස්ටර් කීවත් මොන මට්ටමෙන් ගත්තද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම සම්බන්ධ කනගාටුදායක කාරණාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම ජනතාවගේ චන්දයෙන් සිදුවන බව එකී ධනපති ප්‍රජාතන්ත්‍රවාදය අපට කියයි. ජනතාවගේ කැමැත්ත ලබාගෙන පත්වන නියෝජිතයා එකී පත්වීමට අදාල ගිවිසුම් කඩකරනවිටම එම කැමැත්ත පිළිබද පදනම ඉවත්කර ගනී. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු අප පිළි නොගත්තද ධනවාදය විසින්, ලිබරල් බුද්ධි ක්ෂේත්‍රය හරහා ආණ්ඩුක්‍රමයට ලබා දුන් ප්‍රමිතියකි. ඒ ප්‍රමිතින්ට පවා නුසුදුසු පුද්ගලයකු එම ධුරය දැරීමත්, එසේ කිරීමට අනුබල දීමත් යනු ධනවාදයේම උත්කර්ෂයට නගන පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කිරීමකි, ඡන්දය දෙන ජනයා අවමානයට ලක්කිරීමකි.

ධනවාදය විපරීත දේශපාලනයක් පවත්වාගෙන යනවිටද එය ආරක්ෂා කරන්නට කුළුණු තුන රකින්නට වලිකන වමේ යැයි කියාගන්නා මිත්‍රවරුන්ටද ප්‍රගතිශීලී යැයි කියාගන්නා බුද්ධිමතුන්ටද සිවිලුන් යැයි කියාගන්නා අනේකවිධ අරුමෝසම් මනිබඩු වෙළෙන්දන්ටද දැන් කියන්නට ඇත්තේ එක් දෙයකි.

“බුදු අම්මෝ, මෙන්න මුන් කුමන්ත්‍රණ ආණ්ඩුවේ මුහුදු කොල්ලකාර නායකයා විපක්ෂ නායක කරලා, අපි රකින්න ආව ප්‍රජාතන්ත්‍රවාදය අපිටම කෙළිනවෝ!”

– දියවන්නා එස්.