தமிழ்
English
Contact
Monday 10th December 2018    
විමුක්ති දේශපාලනයේ උගුරේ හිරවෙන මාළු කටු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විමුක්ති දේශපාලනයේ උගුරේ හිරවෙන මාළු කටු



(සාහිත්‍යවේදියකු හා විචාරකයකු වන එරික් ඉලයප්ආරච්චිගේ ‘රතුපලස‘ කෘතිය අළලා ලියැවුණු මෙම ලිපිය 2018 නොවැම්බර් මස ‘වම‘ පුවත්පතේ ‘රළ“ අතිරේකයේ පළ කළ ලිපියකි)

ඓතිහාසිකකරණය හා ඓතිහාසික භෞතිකවාදය අතර වෙනස නම්, ඓතිහාසිකකරණය යනු පැවතියා යැයි, සිදු වුණා යැයි, උපකල්පනය කරන සිද්ධි දාමයක අනුපිළවෙළ සකස් කිරීමකි. ඊට ප‍්‍රතිපක්ෂව ඓතිහාසික භෞතිකවාදය යනු පවත්නා ද්‍රව්‍යමය ජීවන කොන්දේසි ඉහත උපකල්පන සමග මුහුණට මුහුණ අභිමුඛ කර, පවත්නා භෞතික ජීවන කොන්දේසි හරහා උක්ත අනුපිළිවෙළ විසංයෝජනය කිරීමයි.
ලංකාව නමැති ජාතික රාජ්‍යයේ, පසුගිය ආසන්න අවුරුදු 40 දෙස ඓතිහාසිකකරණය නොවූ, ඓතිහාසික භෞතිකවාදී ඇසකින් බලන්නට උත්සාහ කළ නව කතාවක් පසුගිය සැප්තැම්බරයේ නිකුත් විය. එහිදීද ලංකාවෙ නූතන වාම ව්‍යාපාරය වෙත නවකතාව තබා ඇති බර හේතු කොට ගෙනම ඒ පිළිබඳ මෙවර ‘රළ‘ කලාපයේදී සාකච්ඡුාවක් කරගැනීමට අපි තීරණය කළෙමු. එකී නවකතාව නම්, ‘රතුපලස’ නවකතාවයි. නවකතාවේ කතුවරයා එරික් ඉලයප්ආරච්චිය.


එරික්ගේ නවකතාව එක මත එක අතිපිහිතවන තේමාත්මක මානයන් කිහිපයකින්ම සමන්විත වේ. එක් අතකින් එය 1964න් පසු ලාංකීය වාම ව්‍යාපාරයේ සංස්කෘතික, සංවිධාන සීමා දෙස එල්ල කරන ආලෝකයකි. තවත් අතකින් එය එහි ජාතිකවාදී සීමාවන් වෙත එල්ල කරන ආලෝකයකි. තවත් අතකින් එය ලංකාවේ ජාතික ගැටලූව ලෙස අප විසින් හඳුනාගන්නා දෙමළ ජනයාගේ දේශපාලන අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය වෙත එල්ල කරන ආලෝක ධාරාවකි. තවත් අතකින් එය පසුනූතන සමාජ යථාර්ථයක් තුළ උතුරේ හා දකුණේ රැුඩිකල් විමුක්ති දේශපාලනයේ ‘මුල්පිටපත අහිමිවීම’ පිළිබඳ කතිකාවකි. කෘතියේ අන්තර්ගතයේ ඇති පොහොසත්භාවය හේතුවෙන් කියවන්නියකට හෝ කියවන්නකුට කෘතිය තුළ තවත් බුද්ධිමය දෝනා කැණිය හැක.
සන්දර්භීය ලෙස කොටස් තුනක් පුරා ඇදී යන නවකතාව ආරම්භ වනුයේ 71 අරගලයට සක‍්‍රියව දායක වී සිරගතව සිටි ‘කුලසිරි‘ නම් තරුණයා, හිරෙන් නිදහස් වී ගෙදර පැමිණීමේ සිද්ධියෙනි. සමගි පෙරමුණු රජය විසින් ගෙන ආ වගා සංග‍්‍රාම පරාජය වී, ආර්ථිකය එක තැන පල්වන, පවත්නා ආර්ථික අර්බුදයෙන් එගොඩවීමට ඊනියා විවෘත ආර්ථිකයක් පුරෝකථනය කෙරෙන වකවානුවකි ඒ.
71 අරගලයේදී මියගිය ‘ඩොලැක් ආනන්ද’ නම්, දේශපාලන සගයාගේ වැන්දඹු බිරිය වූ ‘තේවානී‘ සිය දියණිය වූ ‘විජයලක්ෂ්මී’ කුලසිරිට භාරකොට මන්නාරම් යාම, එන්න එන්නම සිංහල කේන්ද්‍රීයව ප‍්‍රතිසංවිධානය වෙමින් එන රාජ්‍ය ප‍්‍රතිසංස්කරණය හා පීඩිත ජාතීන්ගෙන්
නව වාමාංශික ව්‍යාපාරය දුරස්වීම පෙරදැකීමක් බඳුය. කතාව තුළ ‘තේවානී‘ යළිත් අපට හමුවනුයේ දෙමළ විමුක්ති ව්‍යාපාරයේ පළපුරුදු කාඩර්වරියක ලෙසිනි.
”ආනා එක්ක කෝච්චියේ ආපු දවසේ ඉඳලා මං මෙහේ, නල්ලූර්වල අප්ප මැරිලා, මිනිය ගේ ඇතුළෙ නරක් වුණා… කවුද මගේ අයියා බලන්නෙ. එයාට ටී.බී. සයරෝගෙ. මගෙ මල්ලි උදයන් රට ගිහිල්ලා. මෙහෙදි කවුරුත් මට හොඳින් උන්නා තමා. ඒත් පුල්ලෙයාර්ව දකින්නෙ පිල්ලෑවෙ පන්සලේ දේවාලෙදි විතරයි. ආනා කතරගම ගියේ තනිවම. එයාට කවුරුත් දෙමළ මිනිහා කියනවට එයා කැමති නෑ. මට ගෞතම් වඳින්න කියලා එයා කෑ ගැහුවා, ගැහුවා.”
150 පිටුව

කතුවරයා මතුකරන දෑ සිද්ධිවාචක ලෙස දකුණේ වමේ ව්‍යාපාරයක කාඩර්වරයකු සම්බන්ධයෙන්, යථාර්ථයක්ද යන ‘යථාර්ථවාදී‘ ප‍්‍රශ්නයට වඩා මෙහිදී වැදගත් වනුයේ වාම ව්‍යාපාරයක් තුළ පවා දමිළ අනන්‍යතාව බැහැරවීමයි, පමණක් නොව, සිංහල අනන්‍යතාව බලෙන් පැටවීමයි. කතුවරයා මතුකරගන්නට උත්සාහ කරනුයේ මෙන්න මේ කාරණයයි.
”එදින රාත‍්‍රියේ ඔහු නිදි නොලැබ කල්පනා කළේ එකම දේකි. ඒ ආනන්දගේ හා තේවානිගේ පවුල් ජීවිතය ගැන. ඇගේ සියලූ මුල් ලකුණු අකා මකා දැමීමට ආනන්දට උවමනා වීම කුලසිරිගේ සිතේ ඇති කළේ එක්තරා පුදුමයකි. විවාහ ජීවිතය තුළ ඔහු තනිව කළ දේශපේ‍්‍රමි සටන ගැන කුලසිරිගේ සිතේ ගරුත්වයක් ඇති විය.”
154 පිටුව


නවකතාවේ එක් තේමාත්මක මානයක් මෙසේ පාදා ගතහැකි අපට තවත් තේමාත්මක මානයක් ලෙස ‘පසුනූතන යථාර්ථයක් තුළ සමාජ ව්‍යාපාරයන්ගේ ඉරණම’ යන තේමාව හඳුනාගත හැක. ලංකාවේ සමාජයේ දැවැන්ත ඓතිහාසික සිදුවීම් හරහා ඇදී යමින් ‘පශ්චාත් නන්දිකඩාල් මොහොත‘ ලෙස නාමකරණය කළ වර්ෂ 2009න් පසු කාලය දක්වාම කතාව ඇදී යයි. ලංකාවේ දකුණ සමාජයේ වඩා යහපත් කොට තැනීමට ගත් අවසාන මහා පරිමාණ උත්සාහය 1989 දී පරාජය වුණි නම්, උතුරේ සමාජයේ එය සිදුවූයේ 2009 වසරේදී දෙමළ විමුක්ති ව්‍යාපාරය පාගා දැමීමෙනි. නවකතාවේ මෙම කොටස ආරම්භ වනුයේ ‘ඩොලැක් ආනන්ද‘ නම් මියගිය දකුණේ විප්ලවවාදියාගේ හා තේවානි නම් උතුරේ විප්ලවවාදිනියගේ දියණිය වූ ‘ටානියා විජයලක්ෂ්මී‘ එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක ලෙස එල්ටීටීඊය හා රජය අතර අවසන සටන්් සිදුවන භූමියට පැමිණීමෙනි. ඇයගේ අභිලාෂය සකස්වනුයේ සිය මවගෙන් උරුම වූ පීඩිත ජාතියේ අභිලාෂයෙන් පැන නගින විමුක්තිවාදයක් විසින් හෝ සිය පියාගෙන් උරුම වූ පීඩිත පන්තින්ගෙන් පැන නගින විමුක්ති අභිලාෂයක් විසින්වත් නොව, තනිකරම ලිබරල් පාරිභෝගික වටිනාකම් කෙරහි ඇති නැමියාවෙනි.
”ඇයට හැඟුණේ තම සොඳුරු ප‍්‍රංශ මිතුරිය සොයා ඇගේ නිවසට යන ගමන, යුද බිමක සිට සාමයේ මිටියාවත කරා දිවෙන්නක් බවය. ඇයට එවැනි සුදු මිතුරියන් දෛනකු සිටි අතර යම් නිදහස් රටකට ගොස් ඔවුන්ගෙන්
එකියක හෝ දෙදෙනාම හෝ විවාහ කරගැනීමට තරම් උනන්දුවකි එවේලෙහි ඈ තුළ උපන්නේ.
එවැන්නකදී ප‍්‍රතිවිපාක ලෙස ඇති විය හැකි අපකීර්තියට හා බිය උපදවන විපත්තියට වුව, මුහුණ පෑමේ ආස්වාදය ඇය සිතින් විඳ ගත්තාය. ඒ අතින් පසුගාමී රටක් වූ ලංකාවේ සීගිරිය හෝ රන්මසු උයන වැනි ප‍්‍රසිද්ධ ස්ථානයකදී එවැනි අසම්මත විවාහයක් කරගැනීමට තරම් උවමනාවක් මෙන්ම ධෛර්යයක්ද ඈ තුළ විය. ’
398 පිටුව
එරික්ගේ නවකතාව එක අතකින් ‘මුල්පිටපත අහිමි වූ‘ ලංකාවේ උතුරේ හා දකුණේ විමුක්ති දේශපාලනය පිළිබඳ කතිකාවකැයි අප පැවසුවේ එබැවිනි. එනම් විමුක්ති ව්‍යාපාර දෙකම මර්දනය වීමෙන් අනතුරුව ඉතිරි වූ විමල් වීරවංශ හා කරුණා අම්මාන්ගේ දේශපාලනය පිළිබඳ කතිකාවකි. ‘සිංහල ජාතිවාදී‘ හා ‘විදෙස් භඨධ‘ දේශපාලනය පිළිබඳ කතිකාවකි. එනම් පාරිභෝජන භාණ්ඩ අර්චනකාමය විසින් ඔද්දල් වුණු ලිබරල් දේශපාලනය පිළිබඳ කතාවකි.
නවකතාවේ අවසන් භාගයේ ලංකාවේ වාම දේශපාලනයේ දුර්වල නිලය (ඇකිලස්ගේ විළුඹ) බවට පත්ව ඇති වාම – ජාතිකවාදී සන්ධාන දේශපාලනය වෙත යොමුකර ඇති බව පෙනේ.
තිස්වසරකට පෙර දකුණේ සමාජයෙන් සමුගෙන දෙමළ විමුක්ති ව්‍යාපාරයට බැඳුණු තේවානි, යුද්ධයේ අවසන් සටන්වලදී ගරා වැටුනු ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය එල්ටීටීඊයේ රක්ෂිත ස්ථානයකදී හමු වේ. ඇගේ ආරක්ෂාවට සිටි තරුණ එල්ටීටීඊ කාඩර්වරු දෙදෙනා ශ‍්‍රී ලංකා හමුදා භටයන්ගේ ප‍්‍රහරායන්ගෙන් මරුමුවට පත් වේ.
‘මිදුලේ තමා ඉදිරිපිට වෙඩි වැදී මියගිය දෙනොගෙන් කෙනකු තම සොහොයුරකු බව පැවසීම මව විසින් තමා වෙතින් පළිගැනීමේ අදහසින් ගොතන ලද බොරුවක් විය හැකි බව ඇය සිතුවාය. එය සැබෑවක් බව සිතීම ඇයට උසුලාගත නොහැකි වේදනාවක් විය. ’
432 පිටුව
‘සිංහල සමාජය‘ තුළ හැදී වැඞී, දැන් එක්සත් ජාතින්ගේ නියෝජිතවරියක ලෙස ‘කලාපීය සාමය ආරක්ෂා කිරීමේ‘ න්‍යාය පත‍්‍රය යටතේ තමන්ගේ අරගලය කුඩුපට්ටම් කිරීමට පැමිණ සිටින ස්වකීය දියණියට, මැරී වැටී සිටින එල්ටීටීඊ කාඩර්වරයා ඇගේ සොහොයුරකු බව මව විසින් පැවසීම, ‘විජයලක්ෂ්මි‘ගේ ද්‍රෝහිත්වයට ‘තේවානි’ විසින් එල්ල කළ අතුල් පහරකි.
මෙය ඊට පසු අවස්ථාවක ලෙඩ ඇඳේ සිටින තේවානි, ජයසිරිගෙන් සයනයිඞ් ඉල්ලා සිටීමට සමානය. ජයසිරි ඒ වනවිටත් දකුණේ වාමාංශික පක්ෂයක් නියෝජනය කරන බව කතුවරයා අපට අඟවයි. ඒ අනුව, කතුවරයා අපට කියන්නේ ලෝක අධිරාජ්‍යවාදය සමග එක පෙළට සිටගත් සිංහල වාමාංශය උතුරේ විමුක්තිකාමියාට සයනයිඞ් කැවු බවයි.
නවකතාව පුරා මෙවැනි සංකේත රාශියක් අපට දැකත හැකිය. උක්ත සඳහන් කළ සිදුවීමෙන් පසුව ‘ජයසිරි‘ පාරේ ඇදී යන ‘මහබඹා පෙරහර‘ට එකතුවීමද එවැනි සංකේතයකි.
”සිදුවන වැරදි කිසිවක් නිවැරදි කළ නොහැකි මාර්ගයකට අවතීර්ණවන ඔහු කඩය පසුපස දොරෙන් එළියට බැස පෙරහැරේ අන්තිමට යන යෝධ මහබඹා සහ ඇඹේනිය පසුපසින් දිව ගියේය.”
519 පිටුවමෙය පීඩිත දෙමළ ජාතියේ අරගලය කුඩුපට්ටම් කිරීමට එවකට අපද නියෝජනය වූ ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ රෙජීමය සමග එක පෙළට සිටීම උත්ප‍්‍රාසයෙන් ලේඛනගත කිරීමකි.
කෘතිය පුරා කතා වින්‍යාසයේ විවිධ අවස්ථාවලදී සංකේත යැයි නොහැඟී යන පරිදි භාවිත කෙරෙන සංකේත රාශියකි. සිද්ධීවාචකයද සංකේතයද එක මත එක පිහිටුවමින් කතුවරයා හුදු කතා කියන්නකුගෙන් ඔබ්බට ගොස්, අපේක්ෂිත දෘෂ්ටිමය කතිකාවේ වරායන් වෙත සේන්දුවනුයේ, නාවුක ගමනාගමනය සහ මුල් සම්භාව්‍ය යථාර්ථවාදී නවකතාවේ තිබූ ඉපැරනි ඥාතිත්වයද සිහිගන්වමිනි. මේ ඥාතිත්වයේ පදනමේ ඇත්තේ අලූත් අලූත් මහද්වීප කරා සේන්දුවීම හරහා ලෝකයම එකම නාවුක ගමනාගමන මාර්ගයක සිතියම් කිරීමයි.
තේවානි පිලිකා රෝගයෙන් ඔත්පලවීම ප‍්‍රබන්ධය හා යථාව අතර තාප්පය භීතිය දනවන අයුරින් පුපුරුවා හැරීමකි, කුඩුකර දැමීමකි. කියවන්නාට හෝ කියවන්නියකට කියවීමක සැහැල්ලූව අහිමි කිරීමකි.
”ඇගේ සිරුරේ පැටලී තිබුණේ යන්තම් සිරුර වැසෙන සාරි පොටකි. එක කෙස් ගසක්වත් නැති හිසේ මතුවී පෙණුන නළල විශාල එකක් විය.”
පිටුව 429
මේ එකවිටම පාඨකයාව, අතිශය වෙහෙසකර සටන් අරගල පිරි ජීවිතයකින් පසු ස්වකීය මරණ මංචකයේ සිටිමින් පවා අගනා කෘතියක් ලොවට දායාද කරමින් මියගිය ගරිල්ලා නායිකාව, තමිලිනි පිළිබඳ මතකය වෙත ගෙන යන්නකි. එහෙත් එය හුදු තමිලිනීගේ ජීවිත පුවතේ දීන අනුකරණයක් නොව, ඇගේ අති විශිෂ්ට ජීවන පුවත ඉතිහාසයත් සමග සම්මුඛ කිරීමට පාඨකයාව පෙළඹවීමකි.
අප කලින්ද සඳහන් කළ පරිදි ඓතිහාසික පරිපාටිය අනුගමනය කරන, අනුකරණය කරන ‘ලූකාෂ්වාදී‘ සම්භාව්‍ය නවකතාවට වඩා පසුනූතන අපේ යුගයේ නවකතාව වෙනස්වන තැන මෙතැනයි.
පිළිකාවෙන් ඔත්පළව ලෙඩ ඇඳේ සිටින තේවානිගේ පාපොච්චාරණය ඇසුරින් ‘කතාවක් තුළ කතාවක්‘ ලෙස ගොඩනැගෙන කෙටි කතන්දර තුනම අපට ඉදිරිපත්වනුයේ සාලිය නම් චරිතය විසින් නිර්මාණාත්මකව ප‍්‍රබන්ධ කරන කතා තුනක් ලෙසිනි. සාලිය ප‍්‍රබන්ධ කරන කතා තුනෙන් දෙකකදීම තේවානිට, ප‍්‍රතිපාර්ශ්වීය අනෙකකු ලෙස ‘මුස්ලිම් ජාතික පිරිමියකු’ මුණගැසේ. සංක්ෂිප්ත හා අපැහැදිලි මේ කතා දෙකෙන්ම එරික් සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන අරමුණු මොනවාද? දෙමළ පීඞීත ජාතියේ දේශපාලනය විසින් පවා දිගින් දිගටම ‘තමන්ගේ උගුරේ හිරවුන මාලූකටුවක් ලෙස සැළකූ’ (දිරවාගැනීමට නොහැකි වූ) මුස්ලිම් පීඩිතයා පිළිබඳ ප‍්‍රශ්නය නවකතාවට ඇතුළත්කර ගැනීමද?
”තේවානි තවත් කලක් එහි මැහුම් සාප්පුව කරගෙන ගියේ කොටි ව්‍යාපාරය විසින් මරා දමන ලද සිය සැමියාත්, ආබාධිත වූ පුත‍්‍රයාත් මුස්ලිම් ප‍්‍රජාව අතරේ රැුකියාවක් කරමින් ජීවත්වන්නට තමාට ලැබුණු විශේෂ බලපත‍්‍රයක් බව පෙන්වමිනි.”
526 පිටුව
කෙසේ වුවද කතාව කියවන්නෙකුට හෝ කියවන්නියකට කෘතියේ මේ කලාපයේදී මතුවන ප‍්‍රශ්න බොහෝ දුරදිග යන සංවාදයකට ප‍්‍රස්තුත වන ආකාරයේ මාතෘකා වුවද ඒ සියල්ල නිවී හැනහිල්ලේ විසඳාගැනීමට අවශ්‍ය ඉඩ ලබාදෙමින් කතා වින්‍යාසය වර්ධනය කිරීම කෘතියේ අවසාන භාගයේදී කතුවරයා අතින් ගිලිහී ඇති බවක් දක්නට ලැබේ.
අවැසි නම් එවැනි ඉඩකඩක් ලබාගෙන සමපේක්ෂණයේ යෙදෙමින්, මතුවන ගැටලූ විසඳාගැනීම කෘතියෙන් පිටතදී පාඨකයකුට කළ හැකි බැවින් එවැනි කියවීමකට කෘතියෙන් හෝ කතුවරයාගෙන් බාධාවක් නැතැයි ද තර්කයක් නැගිය හැක.
කෙසේවුවද කෘතිය පුරාම කතුවරයා සමත් වී ඇති කාරණයක් නම් කතා වින්‍යාසය සිද්ධිමය වශයෙන් ඉදිරියට ධාවනය කරන අතර දෘෂ්ටිමය සාක්ෂාත් කරගැනීම එකවිටම සිදුකරන වාක්‍ය රටා ගොඩනැංවීමයි.
උදාහරණයකට 374 පිටුවේ ඇති මේ කොටස කියවන්න.
”හදිසියේම පාර පැන්නේ බල්ලකු බව සිතූවද නරියෙකි. ඒ ජාතියේ තවත් දෙදෙනකු ඌ පසුපස දිව ගියේ ඔවුන්ට ආවේණික රංචු චර්යාව ප‍්‍රදර්ශනය කරන අයුරිනි.
‘අයියේ, ඒ සිවල්ලූ නේද?‘
සිසිර ළමා කුතුහලයෙන් යුතුුව ඇසුවේය.
‘ඒ වගේ‘
පිරිවෙන හා සරසවිය නිසා කලඑළිවී ඇති නමුත් ඒ හාත්පස ඇත්තේ තවමත් වනගත ලකුුණු සඟවාගත් පෙදෙසක් බව කුලසිරිට සිතුනි.”
පිටුව 374
මෙය එවකට විද්‍යෝදය සරසවිය පිහිටි ගංගොඩවිල ප‍්‍රදේශය පිළිබඳ පරිසර විස්තරයක් වන අතරම ලංකාවේ සරසවි තුළ අරක්ගෙන ඇති පසුගාමිත්වය පිළිබඳ එකවිට කියා පෑමකි. සූක්ෂ්ම කියැවීමකින් කෘතිය පුරා ඇති මෙවැනි අවස්ථා ග‍්‍රහණය කරගත හැක.
‘රතුපළස‘ නවකතාවේ ආඛ්‍යානමය දුර්වලතාවන් සාකච්ඡුා කිරීමට කෘතියේ 45 වැනි පරිච්චේදයේ සටහන්ව ඇති පහත සඳහන් ෙඡ්දය අපට නිදර්ශණයට ගත හැකි.
”කැරැල්ලට පෙර හා ඊට පසුව ජයසිරි හා ඇගේ සොහොයුරිය හොරණ පදිංචි වී සිටියේ අයිතිකාරයකු නැති පිල්ලෑවක වෙසෙන කොරවක්කන් දෙදෙනකු ලෙසිනි. නිතර තෙත රැුඳුණ ඒ පැල්පතෙහි ඇඳක් හා පුටුකබලක් හැර වෙනත් දෙයක් තිබුණේ නැත. ඔවුන් කැඳවාගෙන ආ කුලසිරි ඔවුන්ට බේකරිය පසුපසින් නිවසක් තනා දුන්නේ සාලය හා කාමරය සහිත මිනිස්වාසයක් ඔවුන් වෙත උරුම කරමිනි. සාලිය ඔහුට දාව එහි උපන් දරුවා විය.”
436 පිටුව
දැන් මේ දශක ගණනක් ‘සංක්ෂිප්තකරණය‘ කිරීම පාඨකයාගේ සූක්ෂ්මාන්විත ඉන්ද්‍රියබද්ධ නිරික්ෂණය අකා මකා දමන්නකි ඒ වෙනුවට විස්තර කථනය කිරීමකි. විෂයබද්ධ තොරතුරු සමුදායක් විනා පාඨකයාට ආත්මියව සාක්ෂාත්කරණය කරගැනීමට ආරාධනා නොකරන්නකි එය.
කුලිසිරිගේ අතීත දේශපාලන සගයා වූ ජයසිරි නවකතාව අවසාන භාගයේදී ‘නලින් ද සිල්වාගේ හා ගුණදාස අමරසේකරගේ‘ තර්ක පුනරුච්චාරණය කරනුයේ 20වන සියවසේ අවසාන දශකයේ හා 21 වැනි සියවසේ පළමු දසකයේදී ලංකාවේ වම පරිපූර්ණව ජාතික හා ජාතිවාදය ඉදිරියේ දනගැසීම සංකේතවත් කරමිනි. කතාව තුළ නවලොවක බලාපොරොත්තුව දරා සිටිනුයේ හිටපු දමිල ගරිල්ලා නායිකාවගේ ජීවන පුවත ලේඛනගත කිරීමට උත්සුකවන කුලසිරි හා සාලිය විසිනි. කුලසිරි, සාලිය, තේවානි යන තිදෙනා අතර ගොඩනැගෙන නව ශ‍්‍රම විභජනය තුළ, නව සම්බන්ධය තූළ අනාගතයේ බොහෝ දේවල් තීරණයවනු ඇති බවට කතුවරයා අපගේ අපේක්ෂා දල්වයි.
එරික්ගේ ‘රතුපලස’ නවකතාව ඓතිහාසිකකරණය වෙනුවට ඓතිහාසික භෞතිවාදී ප‍්‍රවේශයක් ගත් නවකතාවකැයි අප මුලින් සඳහන් කළේ මේ අර්ථයෙනි. එනම් ඉතිහාසයේ ‘අහිමිවූ කොටස‘ (missing part) කෘතිය තුළට ගැනීම හරහා ඉතිහාසය යනුවෙන් අපට දී ඇති පිළිවෙළ විසංයෝජනය කරන නිසාය. එරික්ගේ නවකතාවේ අගය වඩාත් ඉස්මතු වනුයේ සියලූ කලාත්මක කාරණා අතරතුර, සමකාලීන සමාජ දේශපාලනය තුළ ඔහුගේ නවකතාව සිදුකරන මෙන්න මේ සාධනීය මැදිහත්වීම නිසාය.