தமிழ்
English
Contact
Sunday 15th December 2019    
විල්පත්තුවේ ඇත්ත කුමක්ද? - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විල්පත්තුවේ ඇත්ත කුමක්ද? – පුබුදු ජයගොඩ



විල්පත්තුව වන විනාශය සහ ඒ සම්බන්ධ මහජන විරෝධය ජාතිවාදී අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීම පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි. මේ වනවිට විල්පත්තු වන විනාශය සාධාරනිකකරණය කරමින් නීතිමය පියවර ගැනීමට වත්මන් පාලකයන් කටයුතු කරන සූදානමක් වාර්තා වේ. මේ පසුබිම තුළ ‘විල්පත්තුවේ ඇත්ත කුමක්ද?’ යන තේමාවෙන් පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් ලියූ ෆේස්බුක් සටහනක් මෙහි පළ කරමු.

විල්පත්තු වන විනාශයට අදාලව අභියාචනාධිකරණයේ විභාග වන නඩුවට රජයේ නීතීඥයන් ඉදිරිපත් කළ රක්ෂිතයේ සීමා මායිම් වෙනස් කිරීමේ යෝජනාව නිසා නැවත වරක් විල්පත්තුව ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. මේ ප්‍රශ්නයට අදාලව ජාතිකවාදීන් සහ ලිබරල්වාදීන් විකෘති කිරීම් රාශියක් සිදු කරන නිසා මෙහි සත්‍යය පැහැදිලි කළ යුතුය. බොහෝ අය ‘විල්පත්තුව‘ ලෙස හඳුන්වන විල්පත්තු ජාතික වනෝද්යානය විල්ලු සහිත සුවිශේෂී පාරිසරික පද්ධතියෙන් එක කොටසක් පමණක් වන අතර එය ප‍්‍රධානම කොටසයි. එය ලංකාවේ විශාලතම ජාතික වනෝද්යානයයි. වරින් වර කොටස් පහක් ලෙස ප‍්‍රකාශයට පත්වූ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පළමු කොටස 1938 පෙබරවාරි 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විවිධ අවස්ථාවන්හිදී එහි මායිම් පුළුල් වූ අතර මේ වන විට එය හෙක්ටයාර් 1,31,693.7 කින් යුක්ත වේ. නමුත් අප ඉහත සඳහන් කළ සුවිශේෂී පාරිසරික පද්ධතිය ජාතික වනෝද්‍යානයට සීමා නොවේ. ඊට අමතරව එයට මායිම්ව කල්ලාරු රක්ෂිත වනාන්තරය, විල්පත්තු උතුරු අභය භූමිය, තබ්බෝව අභයභූමිය, වීරක්කුලිචෝලේ-එළුවන්කුලම යෝජිත රක්ෂිතය, වෙප්පාල් රක්ෂිත වනාන්තරය, මාවිල්ලූ රක්ෂිත වනාන්තරය, පෙරියමරිප්පු රක්ෂිත වනාන්තරය සහ විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය වැනි වනාන්තර, වනෝද්‍යාන සහ අභය භුමි ගණනාවක් පිහිටා තිබේ.
විවාදයට ලක්ව ඇති පදිංචි කිරීම් නිසා විල්පත්තු වන රක්ෂිතය ආශ්‍රිතව විශාල වන විනාශයක් සිදුව ඇත. මන්නාරම දිස්ති‍්‍රක්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන රක්ෂිත හතරක් ඇති අතර එම සමස්ථ වනාන්තර ප‍්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වේ. ඊට හේතුව එම වනාන්තරය ප‍්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පැවතීම ය. මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඕඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත. ප‍්‍රශ්නය ආරම්භ වුයේ 2013 වසරේ රිෂාඞ් බදුර්දීන් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන රක්ෂිත වලින් ඉඩම් ඉල්ලීමත් සමගය. හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් වරයා වෙත යොමු කරන ලද 2013 පෙබරවාර 14 දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගින් හා ඉන් පසුව ද වන රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 1080ක් ජනාවාස සඳහා නිදහස් කර තිබිණි. මෙහි ප‍්‍රශ්න තුනක් ඇත. එකක් සිදු කෙරෙන්නේ නැවත පදිංචි කිරීම් නම් ඒ සඳහා කලින් පදිංචිව සිටි පුද්ගලික ඉඩම් වලම ජනතාව පදිංචි කළ හැක. දෙවැන්න ජනතාව පදිංචි කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු රක්ෂිත වලින් ඉඩම් ඉල්ලිය යුතු නැත, ඒ සඳහා ඕනෑ තරම් රජයේ ඉඩම් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්ක වල තිබේ. තුන්වැනි ප‍්‍රශ්නය වනාන්තරයෙන් අක්කර 1080ක් කැපීමට අවසර ගෙන, නීතියට පිටින් අක්කර 3400ක් විනාශ කිරීමය.
විල්පත්තු වල විනාශය සිදු කෙරෙන්නේ මේ උතුරු මායිමේ පමණක් නොවේ. විල්පත්තු වනාන්තර පද්ධතියේ දකුණු මායිම ආසන්නයේ පිහිටි, පොම්පරිප්පු, ගගේ වාඩිය, වනාතවිල්ලූ, මුරුන්ඩන්වෙලි, එලූවන් කුලම, හම්මිල්ලගොල්ලෑව ඉහළ පුලියන්කුලම පුලියන්කුලම සහ වනෝද්යානයේ නැගෙනහිර මායිමේත් ඒ අවට පිහිටි කුකුල්කටුව, හුණුවිලගම, කටුපත්වැව, ඔයාමඩුව ආදී ගම්මාන අවට පිහිටි වන රක්ෂිතවල අතිවිශාල වන විනාශයක් සිදුවී ඇත. මහවිලච්චිය වැව් රක්ෂිතය විල්පත්තු වනාන්තරයේ නැගෙනහිරින් පිහිටි ප‍්‍රධානතම වන රක්ෂිතයයි. එය එම වැවේත් මෝදරගම් ආරු ගංගාවේත් පෝෂක ප්රදේශය වුවත් අද වනවිට ශේෂවී ඇත්තේ එයින් තුනෙන් එකක් පමණ කොටසකි. එමෙන්ම ඊසානදිගට වන්නට තන්ත්රිමලේ ආශ‍්‍රිතව විල්පත්තු වනාන්තරයේ කොටසක් ආක‍්‍රමණය කොට ජනාවාසකරණයක් සිදුවී ඇත. විල්පත්තු දකුණු සීමා රක්ෂිතද විශාල ලෙස හෙලිපෙහෙළි කොට ඇති බව පෙනේ. තබ්බෝව වනජීවී උද්‍යානයේ ශේෂ වී ඇත්තේ තුනෙන් දෙකක පමණ කොටසකි. නමුත් විල්පත්තුව ගැන මොර දෙන ජාතිවාදීන්ට මේ විනාශයන් නොපෙනෙන්නේ ඒ ජනාවාසකරණයන් සිදුව ඇත්තේ මුස්ලිම් නොවන ජාතික ජන කොටස් අතින් නිසාය. ඔවුන්ට ඉතිරි සියල්ල නොපෙනී මුස්ලිම් ජනාවාස පමණක් පෙනීම අහම්බයක් නොවේ. මේ විනාශයන්ට 2010-2015 ආණ්ඩුවේ සිටි බැසිල් රාජපක්ෂලා මෙන්ම 2015-2019 ආණ්ඩුවේ මෛත්‍රීපාල ඇතුළු එජාප ලොක්කන්ද වගකිව යුතුය.
යුද්ධය නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම පිලිබඳ මිත්‍යාව වටහා ගැනීමට එක උදාහරණයක් ලෙස මොල්ලිකුලම් ගම්මානය ගනිමු. මෙම ගම්මානයේ රෝමානු කතෝලික ආගම අදහන දමිල ජනතාව ජීවත් වූ අතර ගම්මානය 1650දී ආරම්භ කරන ලද පැරණි ගමකි. අක්කර 3000 ක පමණ භූමියක් පුරා පැතිරුණු මෙම ගම්මානය වෙරළ තීරයේ අක්කර 525 ක් පමණ ව්‍යාප්තව ඇත. 2007 වසර වන විට මෙම ගම්මානයේ පවුල් 310 ක් පදිංචිව සිටි අතර ග‍්‍රාම නිලධාරී ලේඛනයේ පවුල් 265 ක් ලියාපදිංචිව සිට ඇත. මෙම ගම්මානයේ ජනතාව ප‍්‍රධාන වශයෙන් ම කෘෂි කර්මාන්තයේ නිරතව ඇති අතර කොටසක් ධීවර කර්මාන්තයේ නිරතව ඇත. මොල්ලිකුලම් ගම්මානයේ කෘෂි කර්මාන්තය සඳහා වැව් නවයකින් ජලය ලබා ගැනින. මෙම වැව් සියල්ලටම මෝදරගං ආරු හා යෝධ වැවෙන් ජලය ලැබෙයි. පුලියංකුලම්, පෙරියතනක්කකුලම්, සින්නතනක්කකුලම්, පාවෙලිකුලම්, සින්නවියායඩිකුලම්, අඩප්පන්කුලම්, පූදුක්කුලම්, පාලයඩිකුලම් හා අලසන්කුලම් යන වැව් නවය යටතේ කුඹුරු අක්කර 2200 කට වැඩි බිම් ප‍්‍රමාණයක් වගා කෙරින. යුද්ධය පැවති සමයේ දී අවස්ථා හතරක දී මෙම ගම්මානයේ ජනතාව ඉවත් වනවාත් සමඟම මොල්ලිකුලම් ගම්මානය සම්පූර්ණයෙන් ම නාවික හමුදාවේ ග‍්‍රහනයට නතු විය. මෙහි තිබූ ගෙවල් කිහිපයක් කඩා ඉවත් කර ඇති අතර ජනතාවගේ නිවාස 31 ක් පමණ මේ වන විට නාවික හමුදාව භාවිතා කරයි. ඊට අමතරව ජනතාව භාවිතා කළ සුසාන භූමියේ මේ වන විට නාවික හමුදාව විසින් හෝටලයක් ඉදි කර පවත්වාගෙන යයි. තවමත් පදිංචි කර ඇත්තේ අවතැන් වූ පවුල් 125 ක් පමණක් වන අතර පවුල් 185ක පමණ ඉතිරි පිරිස තවම අවතැන් ව සිටී. ලබා දෙන බව සඳහන් වැව් දෙක අතුරින් ගම්මානයේ පිහිටි විශාලතම වැව වන පුලියංකුලම් වැව පමණක් කුඹුරු ඉඩම් අක්කර 500 ක් සමඟ ජනතාවට නාවික හමුදාවෙන් මේ වන විට නිදහස් කර ඇත. ඉතිරි වැව් සියල්ල නාවික හමුදාව යටතේ පාලනය වේ. මේ අනුව ජනතාව කලින් භාවිතා කළ ඉඩම් දැන් උදුරාගෙන සිටින්නේ රජය විසිනි. එලෙස සිය වාසභූමි අහිමි වූ ජනතාවගෙන් කොටසක් අවතැන්ව සිටින අතර තවත් කොටසකට ඉඩම් ලබා දී ඇත්තේ රක්ෂිත වනාන්තර විනාශ කරමිනි.
සමහර ගම්මාන වල නැවත පදිංචි කිරීම් කර ඇත්තේ පැරණි ගම තිබු තැන නොව වෙනත් තැනකිනි. මීට හොඳම නිදසුන මරිච්චුකට්ටි ගමයි. පැරණි මරිච්චුකට්ටි ගම්මානය පිහිටි භූමි ප‍්‍රදේශය විල්පත්තු වනාන්තර පද්ධතියෙන් වට වූ, මෝදරගම් ආරු ගංගා ද්‍රෝණියේ උතුරට වන්නට පිහිටා ඇත. එම පැරණි මරිච්චුකට්ටි ගම්මානය පසු කර තවත් උතුරු දෙසට යන කෙනෙකු ඇතුළු වන්නේ රක්ෂිත වනාන්තරයක් ලෙස 2012.10.21 දින 1779/15 අංක දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් ගැසට් කර ඇති මරිච්චුකට්ටි -කරඩික්කුලි රක්ෂිත වනාන්තරය හෙවත් කල්ආරු වනාන්තර සීමාව තුළටය. රජය දැන් එම ප‍්‍රදේශයේ වනය හෙළි කර අලූත් මරිච්චුකට්ටි ගම්මානය මාර්ගය දෙපස පිහිටුවා ඇත. ප‍්‍රදේශය ගැන නොදන්නා කිසිදු ආගන්තුක පුද්ගලයෙක්ට පැරණි මරිච්චුකට්ටි ගම්මානය සහ අලූත් මරිච්චුකට්ටි ගම්මානය වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම කළ නොහැකිය. අවසානයේ සිදුව ඇත්තේ එම ජනතාවටද බරපතල අසාධාරණයක් සිදු වීමයි. ඔවුන් කලින් ජීවත් වූ සරුසාර ගම්බිම් වෙනුවට ඔවුන් මිනිස් වාසයෙන් සහ සියලු අත්‍යවශ්‍ය පහසුකම් වලින් තොර වනාන්තරයක් මැදට ගෙන ගොස් අතරමං කර දමා ඇත. ජනතාව සිය ගම්බිම් වල නැවත පදිංචි කිරීමක් ගැන ලිබරල්වාදීන් කරන නන්දෙඩවීම මේ විනාශය වසන් කරවීමකි.
විල්පත්තුව ආශ‍්‍රිතව සිදුවන මේ මහා විනාශයට මුළුමනින්ම වගකිව යුත්තේ පාලකයන් බව ඉතා පැහැදිලිය. ඔවුන් 2011-2030 ජාතික භෞතික සැලැස්ම සහ මෙගාපොලිස් සැලසුම් යටතේ මේ ප‍්‍රදේශයේ වෙරළබඩ ඉඩම් සංචාරක කලාපයක් සඳහාත්, රට අභ්‍යන්තරයේ ඉඩම් කර්මාන්ත කලාපයක් සඳහාත් භාවිතා කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ඔවුන් යුද්ධය නිසා සිය නිවෙස් වලින් ඉවත් වීමට සිදුවූ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් මංකොල්ල කයි. ඒ අතර යුද හමුදාව සහ නාවුක හමුදාව සිය මුදල් ව්‍යාපෘති සඳහා හැම තැනම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන ඉදි කරමින් සිටී. ඒ සඳහාද කොල්ල කන්නේ ජනතාවගේ ඉඩම්ය. ඉන් පසුව නැවත පදිංචි කිරීම් සඳහා යයි කියමින් පාරිසරික වශයෙන් අතිශය සංවේදී ස්වභාවික වනාන්තර විනාශ කරති. මේ ප‍්‍රශ්නය ලිබරල්වාදීන්ට හසු වන්නේ නැත. ජාතිකවාදීන්ට හසු වන්නේත් නැත. ජාතිකවාදීන් කියන්නේ රක්ෂිත වනාන්තර වල ගස් කපා මුස්ලිම් ඇමතිවරුන් විසින් මුස්ලිම් ජනතාව පදිංචි කිරීම වැරදි වන අතර සිංහල ඇමතිවරුන් එලෙස පරිසරය විනාශ කර සිංහල ජනතාව පදිංචි කිරීම වැරදි නැති බවයි. නැතිනම් අවම වශයෙන් ඔවුන්ට එම පදිංචි කිරීම් පෙනෙන්නේ නැත. ලිබරල්වාදීන් මේ පරිසර විනාශය නොදුටු ඇසින් ජනතාව පදිංචි කිරීම් සහ ජාතිවාදය පරාජය කිරීම් ගැන පමණක් අවධානය යොමු කිරීම නිසා පරිසරය මෙන්ම මිනිස් ජීවිතද විනාශ කරමින් සිදු කෙරෙන මහා ව්‍යසනයක් ඔවුන් අතින් සාධාරණීකරණය වේ. ධනවාදයේ ම්ලේච්ඡත්වයේ ගොදුරු බවට පත්ව සිටින ජනතාවට මෙන්ම පරිසරයට සහ සතා සිව්පාවාටත් සාධාරණය ඉටු කළ හැක්කේ මේ ප‍්‍රශ්නයට වාමාංශික ප‍්‍රවේශයක් ගැනීමෙන් පමණි. එනිසා ජාතිවාදීන්ගේ සහ ලිබරල්වාදීන්ගේ ව්‍යාජ සටන් වෙනුවට ප්‍රශ්නයේ මූලය සොයාගොස් එයට පිළිතුරු සෙවීමේ ප්‍රවේශයකට සමාජය කැඳවිය යුතුය.