தமிழ்
English
Contact
Sunday 15th December 2019    
විවේක කාලය අවසන් - අරගල බිමේදී නැවත හමුවෙමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විවේක කාලය අවසන් – අරගල බිමේදී නැවත හමුවෙමු!



ජනාධිපතිවරණය විසින් ලාංකීය සමාජය පුද්ගලයන් දිනවීමේ තරගයක් ලෙස ස්ථානගත කෙරුණද සමාජවාදී අරමුණ වෙනුවෙන් ජනාධිපතිවරණයට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයේදී ගත් ක්‍රියාමාර්ගය සහ එය සිය දේශපාලන අරගලයේ දිගුවක් බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය මුහුණුපොත් සටහන් කිහිපයකින් කරුණු දක්වයි. ‘ලංකාවීව්ස්’ සහෘදයන්ට එම සටහන් පෙළ ඇසුරින් සකස් කළ මේ වියමන ඉදිරිපත් කරන්නේ එම අදහස් සම්පිණ්ඩනයක් ලෙසය.

විෂ වායු වලාවන් ලංකාවට ඇවිත් ගිය සතියේ මිනිස්සු හුස්ම ගත්තේ බයෙන්..
කෑම වල වසවිස නිසා කන්නේ බයෙන්..
වතුර බීලා දස දහස් ගණන් වකුගඩු නරක් කර ගත්ත රටේ වතුර බොන්නෙත් බයෙන්..
ඒ අතර මෙච්චර තාක්ෂණය දියුණු වූ ලෝකයේ සුවකළ හැකි රෝග වලින් මිලියන ගණන් මිය යනවා..
සහල් නිෂ්පාදනයෙන් සන්තෘප්ත වූ බව කියන රටේ 27.1%ක් මන්දපෝෂණයෙන්….
වැටුපේ සැබෑ අගය අඩුවූ ප්‍රමාණය කොච්චරද කියනවානම් ජීවත්වීම වෙනුවෙන් මුළු දවසම, මුළු ජීවිත කාලයම කඹුරන්න වෙලා…
ඒ නිසාම කලාව, ක්‍රීඩාව, දර්ශනය ආදී මානව සංහතියේ සියළු සංස්කෘතික ධන නිධානයන් අහිමිව අපි මිනිස් දූවිලි බවට පත් වෙමින් යනවා…
මේ කලබැගෑනිය ඇතුලේ මිනිස් සබඳතා බිඳ වැටිලා එකිනෙකා සැක කරන, එකිනෙකාට වෛර කරන, එකිනෙකාට ගේම් දෙන, එකිනෙකා රවටන පිස්සන් කොටුවක් බවට සමාජය පත් වෙලා..
එක්කෝ මේ සියල්ල නොදැක්කා වගේ හොරට නිදා ගන්න ඕන. එහෙම නැතිව මේ ප්‍රශ්නයේ මූල හේතුව ප්‍රාග්ධනය-ධනවාදය කියලා තේරෙනවානම්, අපි දේශපාලනය කරනවා කියලා තෝරා ගන්නවානම් අපි කළ යුතු දේ පැහැදිලියි, සරලයි.
ධනවාදය පරාජය කිරීමේ දේශපාලනය, සමාජවාදී දේශපාලනය……
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි කරන්නේ ඒ දේශපාලනය.
ජනාධිපතිවරණය ආවේ අපි ඒ දේශපාලනය කරන අතරතුර, අපි ජනාධිපතිවරණයේදී කළෙත් ඒ දේශපාලනය..

විමුක්ති මාර්ගයක් නිර්මාණය කිරීමේ උත්සාහයන්ට පසුගිය සියවස සමගත් සම්බන්ධයක් තියෙනවා. වාමාංශික දේශපාලන උරුමය එන්නේ ඒ අතීතයේ ඉඳලා.
නමුත් අපි සමාජවාදී දේශපාලනය තෝරා ගන්නේ සමකාලීන යුගයේ අභියෝගය ජය ගැනීමේ මාර්ගයක් විදියට.
අපේ දේශපාලනය අතීත උරුමයේ සහ යුගයේ අභියෝගයේ මුසුවක්. අපි උරුමය අතහැර සමකාලීනත්වය පමණක් වැලඳගන්නේත් නෑ, ඒ වගේම සමකාලීනත්වය අතහැර උරුමයේ නියෝජනයක් පමණක් වන්නේත් නෑ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෙනස සලකුණු වෙන්නේ එතැනින්.
මෙවර ජනාධිපතිවරණයේ අපේ ව්‍යාපෘතිය වුණේ ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදය ගැනත් එයට විකල්පය ලෙස සමාජවාදය ගැනත් අවබෝධය සමාජයට ගෙනයාම සහ ජනතාව අරගලකාරී මහජන ව්‍යාපාරයක් හරහා දේශපාලන ක්‍රියාකාරීත්වයකට කැඳවීම.
අපි ගිය බොහෝ තැන් වලදී අපි ‘කවුරු දින්නත් ජනතාව පරදිනවා, 17 උදේ සිට හමුවෙමු’ කීවා. අපට එහෙම කියන්න තරම් විශ්වාසයක් ආවේ කොහොමද? ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදය හමුවේ මේ කිසිවෙකුට විසඳුම් නැති බවට අපට ඇති අවබෝධය නිසා.
ඒ නිසාම ලඟ වංගුවක් ගහලා ඉක්මනින් ජනප්‍රිය වීමේ උන්මාදයක් අපට නෑ. සමාජයම අන්ධකාරයේ ගීලී, වලේ වැටී සිටියදී අපි පමණක් ගොඩ යාමේ අරමුණක් අපට නෑ. මේ අර්බුදය ගැන ආලෝකාවබෝධය සමගින් මුළු මහත් සමාජයම ගොඩ යාමේ ගමනක ප්‍රතිඵලයක් ලෙස අපිත් ගොඩ යාමක් මිස ෂෝට්කට් දේශපාලනය ගැන අපේ විශ්වාසයක් නෑ. ජනතාව දේශපාලන සංදර්ශන හරහා ඇස් නිලංකාර කරවා හොරෙන්ම සමාජවාදය වෙත රැගෙන යාමේ මනෝරාජික සිහිනයේ අපි නෑ. අපි ඉන්නේ සමාජවාදය සඳහා ජනතා බලවේග පෙලගැස්වීමේ දේශපාලන ව්‍යාපෘතියේ.

අඩු නපුර තේරීමේ දේශපාලනයෙන් අපි ඉවත් වුණා. අපේ මිතුරන් අඩු නපුර කිරා මනින තරාදි අතැතිව එහේ මෙහේ දුවද්දී අපි ඔවුන් දෙස උපේක්ෂාවෙන් බලා සිටියා.
අපි අඩු නපුර සෙවීමේ දේශපාලනය දිරි ගැන්වූයේ හෝ එය දුර්මුඛ කළේ නෑ. නමුත් අඩු නපුරේ දේශපාලනය අර්බුදයට යාමට නියමිතයි.
MCC හෝ SOFA වැනි ගිවිසුම් හරහා ලංකාවේ ස්වාධිපත්‍යය තර්ජනයට ලක්වේයැයි බියෙන් සජිත්ට වඩා ගෝඨාභය හොඳ බව කියන අයට ගෝඨාභය ඒ සියල්ල එලෙසම ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමට අප සූදානම්…
ගෝඨාභය බලයට පැමිණියහොත් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වන බවට බියෙන් ගෝඨාභයට වඩා සජිත් හොඳ බව කියන අයට සජිත් ඊටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී වීමේ අවදානමක් ඇති බව සිහිපත් කරන්න අප සූදානම් …
ඔබව ඔබේ නායකයන් විසින් පාවාදීමට නියමිත බව දැනට සිහිතබාගෙන යන්න. අපි එය කියන්නේ ස්වාධිපත්‍යය වගේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදය සමග බැඳී තිබෙන ආකාරය ගැන අපට අවබෝධයක් ඇති නිසා.
අප ප්‍රධාන ධනේෂ්වර කඳවුරු දෙක සහ වික්ල්ප ලෙස නාමකරණය වූ අනෙකුත් කොටස් විවේචනය කළේ ඒ පදනමින්.
අප ජවිපෙ විවේචනය කළේ එහි වේදිකාවේ බහුත්ව ස්වරූපය නිසා නොව එය ධනවාදය පිළිබඳ ප්‍රශ්නය නොදුටුවාක් සේ මගහැර යාම නිසා. සමාජවාදය පිළිබඳ ජනතා මතයක් ශක්තිමත් කිරීමට උත්සාහ නොගත් නිසා පමණක් නොව ධනවාදය ගැන විශ්වාසය තහවුරු කිරීමට ක්‍රියා කළ නිසා. ධනවාදයට සුදුහුණු ගාන උත්සාහයන්ට අපි කොන්දේසි විරහිතව පහර දෙනවා.
අපේ ව්‍යාපෘතිය වුණේ අඩු නපුර තෝරන අයට ඒ ප්‍රශ්න වල පතුලේ තිබෙන සමාජ ආර්ථික මානය අනාවරණය කිරීම.
නොවැම්බර් 16 වනතුරු අඩු නපුරේ දේශපාලනයේ සිටි අයව හෙට සිට පාවාදෙනු ලබනවා. නොවැම්බර් 17 සිට සැබෑ නපුරට එරෙහි දේශපාලනය සඳහා අපි ඒ සියළු දෙනාට ආරාධනා කරනවා.

අපේ ප්‍රචාරක වැඩසටහන මූලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වුණා. එකක් දිගුකාලීන විසඳුම ලෙස සමාජවාදය පිළිබඳ පොදු ජනයාට අවබෝධය ගෙන යාම. දෙවැන්න තිබෙන අයිතීන් ආරක්ෂා කර ගැනීමටත්, අලුතින් අයිතීන් දිනා ගැනීමටත් ජනතාවගේ අරගලයට පණ පෙවීම.
පලමුවැන්න අප සියළු දෙනාට අභ්‍යාසයක් වුණා. සරලව සහ වැටහෙන ආකාරයෙන් ධනවාදය සහ ප්‍රාග්ධනය ගැන විවේචනයත්, සමාජවාදී විකල්පය ගැන අදහසත් සමාජගත කිරීම අභියෝගයක්ව තිබුණා. ඒවා බහුජන දේශපාලනයට නොගැලපෙන සංකල්ප, ඒවා ජනතාවට තේරෙන්නේ නෑ, ඒවා ජනප්‍රිය කරන්න බෑ වගේ තහවුරුවූ දෘෂ්ටිවාදයන් සමග අපි ගැටුනා. අවසානයේ ඒවා වැරදි බව ඔප්පු වුණා.
අපි රැස්වීම් පවත්වමින් ගිය හැම තැනකම ජනතාව ධනවාදයේ ප්‍රශ්නය හොඳින් වටහා ගත්තා. සමාජවාදී විසඳුම ඔවුන් විසින්ම ඉදිරිපත් කළා. අපි මුහුණදෙන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, පාරිසරික ගැටලු වලට විසඳුමක් සොයා යද්දී ඉදිරිපත් වන ඇතැම් විසඳුම් නැවත වෙනත් ප්‍රශ්න ඇති කරන බවත්, එලෙස නොවන විසඳුම ලෙස අපට හමුවන විකල්පය සමාජවාදය බවත් අලුත් වටයකින් ඔප්පු වුණා.
ඒ වගේම ආකෘතිමය වශයෙන් අපි සාමාජිකයන් ගෙන්වා සෙනග පෙන්වන රැස්වීම් වලට වඩා ගම් මට්ටමින් ඒ ගමේ ජනයා කැඳවා කරන ගෘහස්ත සාකච්ඡා වලට ප්‍රමුඛතාව දුන්නා. ඒ සාකච්ඡා හැම එකකදීම පාහේ අපට අනාගත ජනසභා ආකෘතියක මූලබීජ රෝපණය කරන්නට හැකි වුණා. සමහර අය අපට ඡන්දය දෙන්නේ නෑ, නමුත් මැතිවරණයෙන් පසු ඔවුන් මුහුණ දෙන ගැටලු වලට අදාල පොදු ව්‍යාපාරයක් නිර්මාණය කරන්න එන්න කිව්වා.
අපට වැඩිපුර වැඩ තියෙන්නේ නොවැම්බර් 17න් පසු. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කියන්නේ ඒ මහජන ව්‍යාපාරය හැදීමේ පූර්ව සූදානම් කටයුතු කළ කාලය.

දැනටමත් ජනප්‍රිය දේ පුනරුච්ඡාරනය කිරීමේ මාර්ගය වෙනුවට නිවැරදි දේ ජනප්‍රිය කිරීමේ මාර්ගය අප තෝරා ගැනීම නිවැරදි බව පසුගිය සති හයේ යළි තහවුරු වුණා. දැනටමත් ජනප්‍රිය දේ ස්වභාවිකත්වයක් නොව දෘෂ්ටිවාදී නිර්මාණයක්. කළ යුත්තේ එය ඉදිරියේ දන ගැසීම නොව ඒ සමග සටන් වැදීම බව අපගේ නිගමනය වුණා. අප ඒ සටනට අවතීර්ණ වුණා වගේම සාපේක්ෂ ජයග්‍රහණත් හිමිකර ගත්තා.
දැනටමත් අපේ ව්‍යාපෘතියේ මූලික අරමුණු කිහිපයක් අප විසින් සම්පූර්ණ කරගෙන තිබෙනවා. අද ලැබෙන ඡන්දය කියන්නේ ඒ ව්‍යාපෘතියේ අපට ලැබෙන බෝනස් එකක්.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමයි විප්ලවවාදී පක්ෂය. අප මැනගත හැක්කේ අංක ගණිතයෙන් නොව දේශපාලන වීජ ගණිතයෙන්..
ධනවාදයේ අර්බුදය විසින් ඔබ සතු සියල්ල ප්‍රාග්ධනයේ අභිලාෂයන් වෙනුවෙන් උදුරා ගැනීමට නියමිතයි. දැනට සිටින මට්ටමේ, එනම් බිංදුවේ රැඳී සිටින්නත් සටන් වැදිය යුතු, ජනතාව සංවිධානය විය යුතු සන්දර්භයක් ගොඩ නැගී තිබෙනවා.
හෙට උදෑසන සිට සටන් බිම් වලදී හමුවෙමු!
එකම විකල්පය සමාජවාදය පමණක් බව තහවුරු කිරීමට අපි ඒ සටන්බිම් වලදී සංවාදගත වෙමු!