Posted on 08.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඊයේ(5) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී එම විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පැහැර ගෙන යාම සිදු කළේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පිළිගනෙ ඇත.
නීතිඥවරයකු බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ ජූලි 3 වැනිදා පාර්ලිමේන්තුව අසළදී විරෝධතාවක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම යන චෝදනා මත කඩුවෙල අධිකරනයට පැහැර ගත් ශිෂ්‍යයා ඉදිරිපත් කරනු ලබන බවයි.
ලංකාවේ සිදුව ඇති පුද්ගලයන් පැහැර ගැනීම් ඉතිහාසය තුළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී සිදුව ඇති කිසිදු පැහැර ගැනීමක් සම්බන්ධ නිසි නීතිය ක්‍රියාත්මක කිරීමක් හෝ වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුව නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 10 අවුරුදු පාලන සමයේ උතුරේත් දකුනේත් තරුණ තරුණියන් දහස් ගණනක් ආරක්ෂක අංශ විසින් හෝ නාඳුනන කණ්ඩායම් විසින් පැහැර ගෙන යාමට ලක්වූ බවට චෝදනා එල්ල වී ඇත.
මෙවැනි පැහැරගැනීම් සඳහා ආරක්ෂක ඔත්තුකරුවන් මෙන්ම අතුරු හමුදා කණ්ඩායම් විශේෂයෙන් නඩත්තු කළ බවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට පවා චෝදනා ඉදිරිපත් වීමෙන් ලංකාව සම්බන්ධ මානව හිමිකම් අපරාධ පරික්ෂන සඳහා බලපෑම් සිදුව ඇත.
ඊයේ දහවල් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අමින්ද ලක්මාල් බස් රථයක් නවත්වා පැහැර ගෙන යාමට ගත් උත්සාහයක්ද විශ්වවිද්‍යාල සිසුන් මැදිහත්ව ව්‍යාර්ථ කරන ලදී. මෙම පැහැර ගැනීමට පැමිණි සිවිල් ඇඳුමින් සිටි පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම පිණිස සිසුන් විසින් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු මිරිහාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවට හෙළිකර තිබිණි.