தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර හා මහපොළ දීමනා ප්‍රමාදය නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අසීරුවෙන්! - අ.වි.ශි.බ.ම. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර හා මහපොළ දීමනා ප්‍රමාදය නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අසීරුවෙන්! – අ.වි.ශි.බ.ම.



ආණ්ඩුවේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැතිව මහපොළ භාරකාර අරමුදලින් මාසිකව ගෙවනු ලබන මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ගෙවීම ප්‍රමාද කිරීම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අපහසුතාවකට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

මහපොළ ශිෂ්‍යාධාරයට අමතරව ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන ශිධ්‍යාධාරයද මේ වනවිට මාස ගණනාවකින් ලබාදී නැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ පෙන්වා දෙයි.

පවතින ජීවන වියදම් තත්වය නිසා මහපොළ දීමනාව රු. 10,000 දක්වා වැඩි කරන ලෙසද පසුගිය කාලයේ අ.වි.ශි.බ.ම. ගෙන ගිය ඉල්ලීමට බලධාරින්ගේ අවධානයක් යොමු වූයේ නැත. කෙසේවතත් දැනට ගෙවනු ලබන මුදලද දීර්ඝ කාලයක් ප්‍රමාද කිරීම පිළිගත හැකි තත්වයක් නොවන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

අඩු ආදායම්ලාභී පවුල්වලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වනවිට ලබා දෙන ආකාරයට මසකට රුපියල් 5,000 බැගින් වසරකට මහපොළ වාරික 10 ක් ද, සෙසු දරුවන්ට මසකට රුපියල් 2,500 බැගින් වසරකට ශිෂ්‍යාධාර වාරික 10 ක් ද, හිමි විය යුතුය. නමුත් එම ආධාර මුදල් නිසි වෙලාවට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදීමට පවා වත්මන් අධ්‍යාපන බලධාරින් පැහැර හැර තිබේ.

මේ වනවිට කැලණි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසු සිසුවියන්ට මාස 7කින් මහපොළ දීමනාව ගෙවා නොමැති අතර සෙසු විශ්වවිද්‍යාලවල ද මාස තුන හතරක ප්‍රමාදයක් පවතී.

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාධාර මුදල් මාස 8කින් ලබාදී නොමැති බවත් සෙසු බොහෝ විශ්වවිද්‍යාලවල අගෝස්තු මාසයෙන් පසුව මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ගෙවා නොමැති බවත් වාර්තා වේ.

පසුගිය කාලයේ වසංගතය හේතුවෙන් ආරම්භ කළ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට අත්‍යවශ්‍ය ලැප්ටොප් පරිගණක සහ ටැබ් ගෙවීමේ පදනමින් මිලදී ගෙන ඒවායේ වාරික ගෙවීමද නොහැකි තත්වය නිසා ඔවුහු දැඩි ලෙස ගැටලුවලට මුහුණදී සිටිති.

මේ සම්බන්ධව අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ පැවසුවේ මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා ප්‍රමාදය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලින් කළ විමසීම්වලට නිසි පිළිතුරක් නොලැබුණු බවයි.