தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
වෛද්‍ය ෂාෆි තවමත් සේවයේ පිහිටුවා නැහැ - රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිවේදනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය ෂාෆි තවමත් සේවයේ පිහිටුවා නැහැ – රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිවේදනයක්



අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි නැවත සේවයේ පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳ මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ අධිකරණය මගින් ඇප පිට මුදාහැර ඇති වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවයි.

අදාල වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇති අතර මෙතෙක් එම වාර්තාව ලැබී නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එම වාර්තාව සහ වෛද්‍ය එස්.එස්.එම් ෂාෆිගේ ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිර්දේශ ඉදිරිපත් කරන තෙක් වෛද්‍යවරයා යළි සේවයේ පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

අදාල කරුණ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ජාලවල පැතිරයන ප්‍රකාශයන් අසත්‍ය බවත් එම සියලු ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දැන් නැවතත් ඔහුගේ දේපොළ සම්බන්ධ කරුණු ඉස්මතු කරනු දක්නට ලැබේ. වෛද්‍ය ෂාෆි මුලදී අත්අඩංගුවට ගැනුනේ ඔප්පු කළ නොහැකි ආකාරයෙන් වත්කම් උපයා ඇති බවට චෝදනා කරමිනි. පසුව ඔහුට එරෙහිව ප්‍රබලව එල්ල කරන ලද චෝදනාව වූවේ ඔහු සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපිය නාලවලට හානිකර මව්වරුන් වඳ කර ඇති බවයි. නමුත් පසුව ඒ පිළිබඳ විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි දෙයක් සිදුව නොමැති බවට වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

ඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර, මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් නම්කර ඇත.

කෙසේවෙතත් වෛද්‍ය ෂාෆිට එරෙහිව නැගුනු චෝදනා සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලදී එම චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමු නොවූ නමුත් සිංහල ජාතිකවාදීන් චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පක්ෂග්‍රාහී බවයි.

ඒ අනුව මේවනවිට වෛද්‍ය ෂාෆිට එරෙහිව නැගුනු චෝදනා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් තිබුණි.