தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
වෛද්‍ය සභාව සම්බන්ධයෙන් GMOA ජනාධිපතිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා - විශේෂඥ වෛද්‍ය සංගමයෙන් චෝදනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සභාව සම්බන්ධයෙන් GMOA ජනාධිපතිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා – විශේෂඥ වෛද්‍ය සංගමයෙන් චෝදනා



ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත සාවධ්‍ය සහ නොමග යවනසුළු කරුණු ඇතුලත් ලිපියක් යවා ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති ලලන්ත රණසිංහ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඒ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යොමුකළ ලිපියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංයුතිය පිළිබඳ තොරතුරුද වසන්කර ඇති බව සභාපති ලලන්ත රණසිංහ සඳහන් කර තිබේ.

එසේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ 2018 වසරේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද විශේෂඥ වෛද්‍ය නාම ලේඛනය ස්ථාපිත කිරීමේ පනත අනුව විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙක් වෛද්‍ය සභාවට ඇතුළත් කළ යුතු වුවත් වෛද්‍ය සභාවේ ගැටලුව සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිවරිය විසින් පත්කළ කමිටුව වෛද්‍ය සභාවට විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම කල් දැමීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය වෛද්‍ය සභාව තනි වෘත්තීය සමිතියකට නතුකර ගැනීමේ උත්සාහයක් බවයි.

සෞඛ්‍ය ඇමතිවරිය විසින් පත්කළ කමිටුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළත් වීමෙන් එම කමිටුවේ ස්වාධීනත් බරපතල ගැටලුවක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසා ඇත.

වෛද්‍ය සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් සිව් දෙනෙකු ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරියට බලයක් නැතැයිද එම ලිපියේ සඳහන් වේ . උසස් පෙළ අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරුන් ලියාපදිංචි වීම මීට ඉහතදී සිදුව ඇති බවත් එවැනි නිලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ තනතුරු පවා දරා තිබෙන බව මෙම ලිපියේ සඳහන් වේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි ආයතනයක් දේශපාලන සහ වෘත්තීය සමිති බලපෑමෙන් මිදිය යුතු බවයි.