Posted on 03.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නව නිළධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සඳහා වෛද්‍ය රයන් ජයලත් ඉදිරිපත් කොට, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍රය නැවත භාර ගැනීමට එම සභාව අද (15) කොළඹ දිසා අධිකරණය හමුවේ එකඟ විය.
නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව වෛද්‍ය රයන් ජයලත් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් මේ මස 30 සහ 31 යන දිනවල ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් ඉකුත් දා නිකුත්කර තිබුණි.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකරුගේ ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍රය යළි භාරගැනීමට එකඟවන බව සඳහන් කළේය.
ඒ අනුව මෙම පැමිණිල්ලේ සමථය පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා නඩුව ලබන 19 වනදා යළි කැඳවන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කළේය.
පැමිණිලිකාර වෛද්‍ය රයන් ජයලත් කියා සිටින්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් තෝරාගැනීමේ නිලවරණය සඳහා තමන් විසින් නියෝජිතයකු මාර්ගයෙන් ඉදිරිපත්කළ නාමයෝජනා පත්‍රය එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවය.
මෙසේ සිය නාමයෝජනා පත්‍රය සම්බන්ධව වෛද්‍ය සභාව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමින් වෛද්‍යවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.