தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ශක්තික සත්කුමාර නිදහස් කරගැනීමේ අරගලය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශක්තික සත්කුමාර නිදහස් කරගැනීමේ අරගලය



මාතෘකාවම වැරදි වුවද මේ මොහොතේ අප අවධානය යොමුකරන මාතෘකාව මෙයයි. අද(19) මහවැලි කේන්ද්‍රයේ පැවැති සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘ශක්තිකයි නීතියයි නිදහසයි’  යන්නය.

සම්මන්ත්‍රණය අවසානයේ එය පලදායක බවට පත්කරගැනීමේ අදහසින් විවිධ අදහස් මතු වුවද විධිමත් ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් වගකීම් සහගත මැදිහත්වීමක් අවශ්‍ය බව නැවත වරක් සනාථ කරමින් සම්මන්ත්‍රණය අවසන් විය. තේ පානය අවස්ථාවේදීද ශක්තික නිදහස් කරගැනීමේ අවංක අභිලාශයෙන් බොහෝ දෙනා අදහස් දක්වන්නට ඇති නමුත් වේලාසනින් පිටව ආවේ වේදනාව, කෝපය හා පරාජිත හැගීමකිනි. සංවාද සභාවේදී කිහිප වරක්ම මතු වූ කාරණය වූ ශක්තික සිරගතව දින සියයක් ඉකුත්ව ඇති නමුත් අපි තවමත් ශක්තික නිදහස් කරගැනීම ගැන කතාකරමින්, එකගතාවකට එන්නට නොහැකි විමතිකයන් ලෙස තැන් තැන්වල සිටින බවය. සංවාද සභාවේ අදහස් දැක්වීමේදී විධිමත් යමක් කියන්නට උත්සාහ කළද ඊටද ප්‍රමාණවත් කාලයක් නොලැබෙන නිසා පසුව ලිඛිතව මේ අදහස එක් කරන්නට කල්පනා කර පිටව ආවේ අවසානයක් නැති සංවාදයක් ලෙස තවත් එක් අමිහිරි මතකයක් බවට එය පෙරලුණු නිසාය.

‘ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව‘ නමින් සහෘදයන් පිරිසක් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සාධනීය වුවද එහි ප්‍රතිඵලදායක අවසානයක් කරා ගෙන එන්නට සහභාගිවූවන් අතර අභිලාශයන් දුර්වල විය. ඒ නිසාම මෙවැනි සංවාදවල අවශ්‍යතාව අවධාරනය කරමින් වුවද වඩා සක්‍රිය ක්‍රමවේදයක් හා සබුද්ධික දේශපාලනික ප්‍රවේශයක් ඉල්ලා සිටින ‘ශක්තික නිදහස්කර ගැනීමේ අරගලය‘ පිළිබද අදහස් එකතු කරමි.

නැවතවරක් කිවයුත්තේ මෙය ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ අරගලය යන නමින් හැදින්වුවද එහි හරයෙන් තිබිය යුත්තේ අදහස් ප්‍රකාශනයේ, මත දැරීමේ, නිර්මාණකරණයේ නිදහසට එල්ලවන මර්දනයට එරෙහි අරගලයක් ලෙසය. මෙහිදී ‘දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තිය'(ICCPR) පිළිබද ඇති භක්තිමත් අදහස්වලින් කිසිදු ජයග්‍රහණයක් උපදවාගන්නට නොහැකි බව නිර්දය ලෙස සටහන් කළ යුතුව තිබේ.

ICCPR ලංකාවේ කතාවෙන් ඔබ්බට….

ICCPR යනු 1966 ලෝකයේ පැවති තත්වයන් හමුවේ ඇතිකරගත් ජාත්‍යන්තර සම්මුතියකි. කේන්සියානු ආර්ථික මොඩලයට ගැලපෙන ජාතික රාජ්‍යයක පුද්ගල හා දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් එය කෙටුම්පත් කෙරුණේ 1945 එක්සත් ජාතින්ගේ සංවිධානය ආරම්භ කිරීමට පදනම් වූ ලෝකයේ බලවත් රටවල අරමුණු හා සමපාත වූ 20 වසරක දීර්ඝ සංවාදයකින් පසුවය. 1948 දෙසැම්බර් 10 මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය අත්සන් කෙරුණේ වුවද එයින් සපුරාගන්නට නොහැකි බවට ප්‍රත්‍යක්ෂ වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ සංවාද, විවාද, කඹ ඇදීම් රාශියක් මැද 1954 කෙටුම්පත් කෙරුණු ICCPR ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ලෙස සම්පූරණ කෙරුණේ 1966 දෙසැම්බර් 16 වැනිදාය. ලෝකයේ රටවල් 200කින් මේ දක්වා ICCPR අත්සන්කර ඇත්තේ රටවල් 74ක් සහ සමස්ත පාර්ශ්වකරුවන් 173ක් පමණි. කේන්සියානු ධනවාදයට අවශ්‍ය වූ ජාත්‍යන්තර සම්මුතියක් ලංකාවේදී අත්සන් කෙරුණේ 2007 මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වීමම සරදමක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් අප දන්නා ඉතිහාසයේ 1977-94 එක්සත් ජාතික පක්ෂ පාලනයේ මර්දනකාරිත්වය හා සසදන විට රාජපක්ෂ පාලනය ඊට දෙවැනි නොවන බවට ඕනෑ තරම් සාධක ඇති නිසාය. රාජපක්ෂ පවුල් පාලනයට ICCPR අත්සන් කරන්නට අවශ්‍ය වූයේ GSP+ සහනය ලබාගැනීමේ සීමාව තුළ පමණකි. ඒ නිසාම වගන්ති 53ක් ඇති මෙම ජාත්‍යන්තර සම්මුතිය තිබියදී මෙරට නීතිය තුළ ‘ICCPR පනත‘ ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණේ සිවිල් හා දේශපාලන අයිතින් සම්බන්ධ වාක්‍ය කිහිපයකින් සමන්විත මර්දනකාරී වගන්ති 11ක් පමණකි.

වැදගත්ම කාරණය වන්නේ කේන්සියානු ධනවාදය සදහා අවශ්‍ය වූ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලෝකය විසින් අනුමතකර වසර 40කට පසුව ලංකාව පිළිගෙන ඇත්තේ නවලිබරල්වාදී ආර්ථික මොඩලයේ ඉදිරි පැවැත්මේ කොන්දේසියක් ලෙස තමන්ද එම ජාත්‍යන්තර සම්මුතිය පිළිගන්නා බවට ලෝකයට පෙන්වීමට පමණකි. 2007 සිට 2019 දක්වා අප අත්විදි 12 වසර තුළ රාජපක්ෂ පාලනයද ඉන්පසුව වත්මන් ආණ්ඩුවද දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කළ ආකාරය ගැන අපි හොදින්ම දනිමු. එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මුවා වී ලේඛකයන් සිරගත කරන, නිර්මාණකරුවන් මර්දනය කරන පසුබිමක කිසියම් කෙනෙකු තවදුරටත් එම පනත වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එයම සරදමකි. බොහෝ දෙනා වටහා නොගන්නා කරණය නම් ව්‍යවස්ථාපිත නීතියේ වේවා ජාත්‍යන්තරව පිළිගත් සම්මුතිවල වේවා කුමක් සදහන් කෙරුණද අප ජීවත්වන සමාජ දේශපාලන අවකාශය යනු තවදුරටත් ලිබරල් නිදහස හෝ එයින් යෝජනා කළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පවතින්නක් නොවන බවය. ලෝකයේ සමාජ ආර්ථික සැකැස්ම යළි අර්ථකථනය කරනු ලබන්නේ අධිරාජ්‍යවාදී නවලිබරල් ධනවාදයේ උවමනාවන්ට අනුවය.


නිර්දේශපාලන උගුල….

අපේ කාලයේ නිර්මාණකරණයේ නිදහසට, මතයක් දැරීමේ නිදහසට, විරුද්ධවීමේ අයිතියට හා දේශපාලන අයිතිවාසිකම් බුක්ති විදීමේ අයිතියට පමණක් නොව, ආගම ඇදහීමේ හෝ නිරාගමිකව සිටීමේ අයිතියට ප්‍රධාන බාධකයක්ව ඇත්තේ නවලිබරල් ධනවාදයේ සරණ ගිය රාජ්‍යයි. ආගමික සංස්ථාපිතය, සමාජ පසුගාමිත්වය එහි වැදගත් භූමිකා උසුලන නමුත් ඒවා පවා නවලිබරල් ධනවාදී නිර්මිතයන් බව වටහා ගන්නට ප්‍රමාද විය යුතු නැත. තවදුරටත් ආගම යනු ශාස්තෘන් විසින් දෙසූ මිනිස් යහපත පිළිබද පැවැත්ම නොව, බලහත්කාරී විධානයක් ඉල්ලා සිටින, නිර්මාණකරණයේ නිදහසට, මතයක් දැරීමේ නිදහසට පමණක් නොව, පුලුල් ලෙස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට විනකරන දේශපාලන නිදහසට සතුරුකම්කරන ප්‍රපංචයකි. එය පැරණි පන්නයේ ආගමික යමක් නොව, පවතින සමාජ ආර්ථිකයේ පදනම මත නිර්මිත නවලිබරල් සමාජ සැකැස්මේම නිර්මිතයකි. සම්ප්‍රදායික ආගමික සංස්ථාව යටකරමින් එය පැන නැගුණ කාලයේ ජනප්‍රිය ආගමික ප්‍රවාහයක් ලෙසද ගානුගතිකත්වය පුපුරුවාහරින ප්‍රගතිශීලි ප්‍රවණතාවයක් ලෙසද ඇතැම්විට හදුන්වා දෙන ලදී.

එය හුදු ගතානුගතිකත්වයට එරෙහි යමක් නොව, නවලිබරල්වාදයෙන්ම ඉල්ලා සිටින නව ගතානුගතිකත්වයක් වෙනුවෙන්වන බලවත් නවලිබරල් ආගමික අන්තවාදයකි. එහෙත්, ආගම් විරෝධී සටන්පාඨවලින් එය පරාජය කළ නොහැකි වන්නේ නවලිබරල් ධනවාදයේ රාජ්‍ය ආකෘතිය විසින්ම එය ආරක්ෂා කරමින් අන් කවරදාටත් වඩා මානව හිමිකම්, දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් යන පැරණි ලිබරල් වටිනාකම් අවභාවිතයට ගන්නා බැවිනි. ශක්තික සත්කුමාරගේ නිර්මාණකරණයේ නිදහස වළපල්ලට යැවීමේ රාජකාරිය භාරගත්තේ නවගතානුගතිකත්වයේ ආගමික-නවලිබරල් සංස්ථාපිතයවන අතරම ඊට උපයෝගිවන්නේ එකී ආගමික අන්තවාදයට අභියෝග නොකරන, එහි පැවැත්ම ආරක්ෂා කරන නවලිබරල් රාජ්‍ය මර්දනයයි. මේ නිසාම මර්දනයට එරෙහි සියලු බාලවේග ඒකරාශි කරමින් ගෙනයන දේශපාලන අරගලයකින් මිස, එක් දිනක්, මාලක දේවප්‍රිය, තවදිනයක අසංක සායක්කාර, ඊළගට ශ්‍රීනාත් චතුරංග, ඉන්පසුව ශක්තික, ඊටත් පසුව කුසල් යනාදී වශයෙන් මේ මර්දනයට කොටස් වශයෙන් උත්තර හොයන්නට අපට සිදුවනු ඇත. එවැනි ‘විරෝධතා‘ මෙගා නාටකයක් වෙනුවට සබුද්ධික ප්‍රජාවක් ලෙස රාජ්‍ය මර්දනයට මුහුණ දෙන්නට විධිමත් ප්‍රවේශයක් මෑත අත්දැකීම් අපගෙන් ඉල්ලා සිටී එහිදී නිර්ආගමික, නිර්දේශපාලනික උදාන පාඨ අපගේ අරමුණ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයෙන් පටු කොණකට තල්ලු කරනවා විනා සමාජ බලවේග ඒකරාශිකරන පුලුල් නිදහස පදනම් කරගත් ප්‍රවේශයකට මග පාදන්නේ නැත.

මේ ලියැවිල්ල තවත් දීර්ඝ නොකර, ශක්තික සත්කුමාර නිදහස්කරගැනීමේ අරගලය යනු නවලිබරල් ධනවාදයේ රාජ්‍ය මර්දනයට එරෙහි අරගලයක් ලෙස අප කියන්නේ ඒ නිසාය.
නිර්මාණකරණයේ නිදහසට, මතයක් දැරීමේ නිදහසට හරස්වන ආගමික අන්තවාදය මෙන්ම
‘ICCPR පනත‘ වැනි නම්වලින් පෙනී සිටින රාජ්‍ය මර්දන පනත් අහෝසිකිරීම අප සියලු දෙනාගේම නිදහස පිළිබද ප්‍රශ්නයක් ලෙස හදුන්වන්නට හැකිය. එහිදී අද ශක්තික මුහුණ දී සිටින අභියෝගය, අප සැමගේ ජීවිත පිළිබද ප්‍රශ්නයක් ලෙස නොදකිමින් හුදු සංවාද මාතෘකාවකින් අවසන් කරන්නට හෝ එම සංවාදයම එකිනෙකා කුලල් කාගන්නා අගාධයක අපි සිටිමු. තවදුරටත් ඒ අගාධයේම ගැඹුරට ඇද නොවැටෙන්නට නම්, සමස්ත සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාදාමය තුළ ප්‍රශ්නය හදුනාගන්නට තරම් ප්‍රඥාවක් අපට අවශ්‍ය වේ. මේ මොහොතේ එම ප්‍රඥාව අපට නොමැති නම් අපි ඉබාගාතේ විරෝධතා ව්‍යාපාර කැදවා, තවත් දින සියයක් හෝ ඊටත් වැඩි ගණනක් ශක්තික සිරගතකර තබන්නට ඉඩහරින්නෝ වෙමු.