தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ශක්තික සත්කුමාරගේ මූලික අයිතිවාසිකම් නඩුවට පොලිසියෙන් බලපෑම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශක්තික සත්කුමාරගේ මූලික අයිතිවාසිකම් නඩුවට පොලිසියෙන් බලපෑම්!



ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස බලපෑම් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

පොලිසිය විසින් අත්තනෝමතික හා අයුක්ති සහගත ලෙස අත්අඩංගුවටගැනීම හා රඳවා තබාගැනීම මගින් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලේඛකයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබිනි. මැයි 21 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නීතිඥවරිය පැවසුවේ වැඩිදුර විමර්ශනය සදහා පොලිසිය කටයුතුකරමින් සිටින බවය. එහෙත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේ පොලිසිය සාධාරණ හේතුවකින් තොරව ලේඛක සත්කුමාර රදවා සිටින බවත් අත්අඩංගුවට ගෙන මාසයකට අධික කාලයක් තුළ සිදුකර ඇත්තේ ඔහුගේ ගිනුම් වාර්තා පරික්ෂා කිරීම පමණක් බවත්ය.

දෙදරු පියකුවන ශක්තික අත්අඩංගුවට ගන්නා ලද්දේ අප්‍රේල් මස 1 වැනිදා වන අතර මහෙස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව චෝදනා නගා ඇත්තේ මහාධිකරණයෙන් පමණක් ඇප නියම කළ හැකි නීතියක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත (ICPPR) යටතේය. පොල්ගහවෙල පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවක් සළකා බැලූ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය, ලේඛක ශක්තික සත්කුමාර අප්‍රේල් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරණ ලදී. ෆේස්බුක් ජාලයේ පළකරන ලද ‘අර්ධ’ නමැති කෙටිකතාව හරහා ආගමික ද්වේශයට අනුබල සපයා ඇති බවට ප්‍රදේශයේ ‘ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ‘ නමින් හඳුන්වාගත් සංවිධානයක ලිපි ශීර්ෂයකින් කරන ලද පැමිණිල්ලක් මත ලේඛකයාට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට පොල්ගහවෙල පොලිසිය ක්‍රියාකර තිබේ. පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආක්‍රමණකාරි ලෙස පැමිණි භික්ෂුන් කණ්ඩායමක් එහි සේවය කරන ලේඛකයාට එරෙහිව දඬුවම් කිරීමට පියවර ගන්නා මෙන්  ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ට බලපෑම් සිදුකර තිබුණි. ඉන්පසුව, මාර්තු 13 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවන ලද සත්කුමාරගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුගේ සේවා ප්‍රධානීන් ක්‍රියා කර තිබේ. මේ අනුව ශක්තික සත්කුමාර වරදක් සිදුකළාද නැද්ද යන්න අදිකරනයෙන් තීන්දුකරන්නට පෙරාතුව භික්සුන් මැද්හත් වී එහු රැකියාවෙන් නෙරපා දමා ඔහුගේ බිරිය, දරුවන් දෙනො සමග අසරන තත්වයට ඇද දමන්නට ද්වේශ සහගත ක්‍රියාදාමයකට එළඹී ඇති බව පැහැදිලිය.

පොල්ගහවෙල පොලිසිය විසින් ලේඛකයා අත්අඩංගුවට ගන්නා ලද්දේ කිසිදු ලියාපදිංචියක් හෝ පූර්ව ක්‍රියාකාරකම් නැති නාමික සංවිධානයක ලිපි ශිර්ෂය යටතේ බෞද්ධ භික්සුවක් විසින් කළ පදනම් විරහිත චෝදනාවක් යටතේ බව ලේඛකයා වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරින් විසින් පෙන්වා දී ඇත. කෙසේවෙතත්, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා තමන්ගේ උසස්වීම් හා සේවා වාර්තාවලට බලපෑම් සිදුවන බැවින් පොලිස් නිලධාරින් කලබල වී ඇති බවද එම පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ නම් ශක්තික නිදහස් කිරීම සදහා අදිකරණයට කරුනු ඉදිරිපත් කළ හැකි බවද නම් ගම් හෝ හැදුනුම්පත් නොමැතිව හදිසියේ පැමිනේන සිවිල් ඇදුමින් සැරසුනු පුද්ගලයන් ශක්තික සත්කුමාරගේ බිරියට හා හිතවතුන්ට බලපෑම් කරමින් සිටී. එසේම ශක්තික විසින් පළ කළ කෙටිකතාව අන්තර්ජාලයට එක් කළ බවට චෝදනා කරන්නට වාරියපොළ නගරයේ තරුනයකුට පොල්ගහවෙල පොලිසියට එන ලෙසද බලපෑම් සිදුකර ඇත.  සාමාන්‍යයනේ මෙවැනි විමර්ශනයක් සිදුකරද්දී අදාළ ප්‍රෙද්හයේ පොලිසිය විසින් කරන නිල දැනුම්දීමකින් මිස පුද්ගල මට්ටමෙන් දැනුම්දීමක් සිදු නොවේ. මෙහිදී පොලිසිය විසින් දේශපාලන බලපෑම් මත ශක්තික අත්අඩංගුවට ගත් බවටද තොරතුරු අනාවරණය වෙමින් ඇති අතර එය වසන් කරන්නටත් ශක්තිකගේ බිරියට හා හිතවතුන්ට අයුතු බලපෑම් සිදුකරමින් ශක්තික සත්කුමාර තවදුරටත් අත්අඩංගුවේ තබාගන්නට කරුනු එකතුකරමින් සිටින බව පෙනී යයි.

ශක්තික සත්කුමාර යනු දිගු කාලයක් සාහිත්‍ය කටයුතුවල යෙදුඛු ලේඛකයකුවන අතර ඔහු කිසියම් සංවිධානයක අරමුදල් ගෙන ආගම් විරෝධී ප්‍රචාරයක් ගෙනයන බවට කරුනු දක්වන්නටද පොලිසිය ඇතැම් අවස්ථාවල කරුණු එකතු කරමින් සිටින බවක් පෙනී යයි. මේ අනුව, පොල්ගහවෙල සහ වාරියපොළ පොලිස් ස්ථානවල රාජකාරි කරන ඇතැම් පුද්ගලයන් විසින් ද්වේශ සහගත ලෙස තනි පුද්ගලයකුට එරෙහිව රටේ නීතිය අවභාවිතයට යොදවා ඇත. විශේෂයෙන් ස්වකීය මතය නිර්මාණාත්මකව සමාජගත කරන, විවචෙනයට හා නීතිමය ක්‍රියාදාමයට අනුගත ලේඛකයකු අසාධාරණ චෝදනා මත චූදිතයකු කරන්නටත් පූර්ව නිගමන ඔස්සේ වැරදිකරුවක් කරන්නටත්, ද්වේශ සහගත ක්‍රියාදාමයක යෙදී සිටින බව ලේඛයා වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරිහු චෝදනා කරති.