Posted on 02.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ මෙම වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.
ඊයේ දිනයේදී මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ, මෙම වාර්තාව ශ්‍රී ලංකාව ප්රතික්ෂ්ර්ප කරන බවත්, මෙම වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත බවය.
මෙවර සැසිවාරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍ය ගත රටවල් කණ්ඩායම වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය ,උතුරු මැසඩෝනියාව, සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නව යෝජනාව ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාවක් බවත්, මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාවය වන්නේ, මෙම කවුන්සිලය තුළ පවතින බෙදීම්වලින් පැන නගින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයක් බවයි.
ඉහත දක්වා ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට, එය අවසානයක් කරා ගෙන එන ලෙස අපි ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.