தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ශ්‍රී ලංකාව හමුවේ ඇති අනාගත පාරිසරික අභියෝග ... | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රී ලංකාව හමුවේ ඇති අනාගත පාරිසරික අභියෝග …



ශ්‍රී ලංකාව ලොව ජෛවවිවිධත්වයෙන් පොහොසත් රටවල් අතර ඉදිරි පෙළ සිටින රටකි. එම ජෛවවිවිධත්වයට පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, සහ ප්‍රවේණි විවිධත්වය අයත්ය. එම ජෛවවිවිධත්වය ඇතිවීමට අපේ රට මිහිතලය මත පිහිටා ඇති ස්ථානය, රටේ අභ්‍යන්තර භූ නිර්මාණය, අජීවී ස්වභාවික සම්පත් හේතුවී ඇත. නමුත් එකී වත් පොහොසත්කම් තිරසාර ආකාරයෙන් භාවිතා කරමින් රට ධරණීය සංවර්ධනයක් කරා දිශානත කිරීමට එතෙක් මෙතෙක් රට කරවූ පාලකයින් අසමත්වී ඇත. කොටින්ම කියතොත් අප සංවර්ධනය හා සංරක්ෂණය තුලනය කරගැනීමට අපොහොසත්ව ඇත. ඒ හේතුවෙන් රටක් ලෙස අප ගමන් කරමින් සිටින්නේ දියුණුව දිශාවට නොව, පිරිහීම දිශාවටය. එම පසුගාමීත්වයේ තීරණාත්මක වසරක් තවත් දින තුනකින් උදාවේ. එබැවින් අප එම අනාගතයේ අපට මුහුණදීමට සිදුවන පරිසර අභියෝග පිළිබඳව අඩු තරමින් දැනුම්වත් වීම හෝ අවශ්‍ය යැයි සිතමි.

දේශගුණ අභියෝගය

මිහිතලයේ සෑම රටකම වෙසෙන සෑම ජීවියෙකුටම අඩු වැඩි වශයෙන් දේශගුණ අභියෝගයට මුහුණ දීමට සිදුවේ. එයට කිසිඳු භූගෝලීය හෝ සමාජාර්ථික මිම්මක් නැත. නමුත් දුප්පත්කමේ හිනිපෙත්තටම පැමිණ ඇති අප වැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය වලට දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් වලින් වැඩි වශයෙන් බැට කෑමට සිදුවන බව කණගාටුවෙන් නමුත් කිව යුතුය. ලෝකයේ හරිතාගාර වායු විමෝචන පාලනය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ප්‍රගතියක් මෙතෙක් අත්කරගෙන නැත. එහි සරළ අර්ථය වන්නේ දේශගුණ විපර්යාසය සෑම මොහොතකම තව තවත් දරුණු විපාක ඇතිකරනු ඇති බවය. එම අහිතකර දරුණු බලපෑම් වලට මුහුණ දීමට නම් අප ඒවාට අනුහුරුවීම සිදුකළ යුතුමය. නමුත් අපට ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් නැත. දේශගුණ විපර්යාසය උත්සන්න වන්නට වන්නට අනුහුරුවීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය විශාල වේ. මිනිසුන්ට අඩු තරමින් තමන්ගේ මූලික අවශ්‍යතා හෝ පිරිමසා ගනිමින් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනගා ගැනීමට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට අනුහුරු වීමට අවශ්‍ය වේ. ආහාර, ජලය, සුරක්ෂිත වාසස්ථාන, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි එකී මෙකී නොකී මූලික මිනිස් අවශ්‍යතා දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් බැට කමින් සාක්ෂාත් කරගැනීම දුෂ්කරය. ඒ සඳහා ආණ්ඩු ජනතාවට සහය විය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය අවමකිරීම සහ ඊට අනුහුරුවීම ඇත්තේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට (United Nations Framework Convention on Climate Change – UNFCCC) අදාලව එම ලේකම් කාර්යාලයට බාරදුන් දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව (Nationally determined contributions – NDC) ලේඛණයේ පමණි.

රටේ ගොවි ජනතාව තමන්ගේ වගාවට අවශ්‍ය යෙදවුම් ඉල්ලා මහපාරේ අරගල කරන අප වැනි අසමත් රාජ්‍යයන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට දේශීය කෘෂිකර්මාන්තය අනුහුරුකිරීම ගැන සිතතැයි අපට උපකල්පනය කළ හැකිද? රටේ ධීවර ජනතාව තම දරු පවුල් කුසගින්නේ තබනු නොහැකිව මහා සුළිසුලං පිළිබඳව අනතුරු අඟවද්දී පවා දිවි දෙවැනි කොට මසුන් මරන්නට දියඹට යන අප වැනි අසමත් රාජ්‍යයන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට දේශීය ධීවර කර්මාන්තය අනුහුරුකිරීම ගැන සිතතැයි අපට උපකල්පනය කළ හැකිද? රටේ කන්දේද ලන්දේද ජීවත්වන ජනතාවට ආන්තික කාලගුණ විපත්වලින් උත්සන්න කෙරෙන නායයාම් සහ ගංවතුර වලින් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන පලා යන්නටැයි පවසා දෑත් පිසගන්නා පාලකයින් සිටින අප වැනි අසමත් රාජ්‍යයන් දේශගුණ විපර්යාසයේ බලපෑම් හමුවේ දිනෙන් දින වර්ධනය වන දේශගුණ අනාථයින් ගැන සිතතැයි අපට උපකල්පනය කළ හැකිද?
වන විනාශය

ශ්‍රී ලංකාවේ වනාන්තර සහ වන ජීවීන් ආරක්ෂා කිරීම සඳහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත සහ වන සංරක්ෂණ පනත මගින් ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන ලැබී තිබුණි. සෙසු ස්වභාවික සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන්ද අඩු වැඩි වශයෙන් එම රැකවරණය විවිධ නීති අනපනත් හරහා ලැබී තිබුණි. නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ගනු ලැබූ ඇතැම් අත්තනෝමතික, අසාධාරණ, සහ අමනෝඥ තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට එම නීතිමය ආරක්ෂාව සහ ඊට අදාළ ආයතනික පරිපාලන ව්‍යුහය උඩුයටිකුරු වී තිබේ. චක්‍රලේඛ අහෝසි කිරීම – නව චක්‍රලේඛ නිකුත්කිරීම, ගැසට් නිවේදන නිකුත් කිරීම – එම ගැසට් නිවේදන හකුලා ගැනීම වැනි කරුණු හරහා එම අවිනිශ්චිතතාවය ඇතිවී තිබේ.
එහි සැඟවුණු අරමුණ විය හැක්කේ අපේ රටේ වනාන්තර සහ වනජීවී සම්පත් දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය ආකාරයට තම පටු වාසි ප්‍රයෝජන සඳහා වනසා දැමීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම බව පරිසරවේදීන් අවධාරණය කළෝය. අද වන විට ඇතිවී ඇති මෙම වියවුල්කාරී තත්ත්වය ඔවුන්ගේ අනාවැකි සැබෑ කිරීමකි.

රට මේ මොහොතේ මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයේ දිගුවක් ලෙස මෙරට වනාන්තර සහ ස්වභාවික සම්පත්වලට එල්ලවන බලපෑම ඉදිරියේදී තවත් උත්සන්න වන බව නොකිවමනාය. රටේ ජනතාව දුප්පත් වීම මගින් ඔවුන් වනාන්තර සහ ස්වභාවික සම්පත් මත එල්ලකරන පීඩනය ඉහළ යාම නිතැතින්ම සිදුවේ. තමන්ගේ වගාවන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් සපුරා ගැනීමට නොහැකි ගොවි ජනතාවට අපේක්ෂිත අස්වැන්න ලබාගත නොහැකි වන බව අමුතුවෙන් කිව යුතුද? ඔවුන් තම ආර්ථික පීඩනයේ තෙරපුම යොමු කරන්නේ වනාන්තර, වනජීවීන් සහ ස්වභාවික සම්පත් දෙසටය. ධීවර ප්‍රජාවගේ ආර්ථික අහේනිය යොමුවන්නේ නීති විරෝධී ධීවර කටයුතු දෙසටය. රටේ ආර්ථික පිරිහීම යම් තරමකට හෝ පාලනය කරගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුවට සිදුවන්නේ අටුව කඩා පුටුව හැදීමේ ආර්ථික උපායමාර්ග වෙත නැඹුරු වීමටය. එමගින් ඉදිරි වසරේදී ස්වභාවික සම්පත් කෙරෙහි එල්ලකරන පීඩනය සුළුපටු නොවනු ඇත.

පරිසර දුෂණය

පරිසර දුෂණය පාලනය කිරීම සඳහා රජයේ ප්‍රතිපාදන කප්පාදුවීම මෙන්ම දුෂිත කර්මාන්ත සඳහා රටේ දොරටු විවර වීම මගින් රටේ පරිසර දුෂණය ඉහළ යාම නිතැතින්ම සිදුවේ. වාතය, ජලය, පස ඇතුළු සංඝටක දුෂණය වීමෙන් ආන්තික ජනතාව මත එල්ලවන පීඩනය වැඩිය. උදාහරණයක් ලෙස ආර්ථික අහේනියට පිළියමක් ලෙස ලොව අන්ත දුෂිත කර්මාන්ත අපේ රටට පැමිණීම සිදුවෙමින් පවතින්නකි. ඒවා නියාමනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය නිද්‍රාශීලී වීම තුල එමගින් දුෂක පරිසරයට මුදා හෑරීම වැඩි වැඩියෙන් සිදුවේ. එමගින් ආන්තික ජනතාවගේ ජල මුලාශ්‍ර දුෂණය වීම සිදුවේ. ඔවුන්ට හුස්ම ගන්න ඇති වාතය දුෂණය වේ. පස වැනසේ. එමගින් සිදුවන්නේ මෙවැනි ආන්තික ප්‍රජාවන් කබලෙන් ලිපට විසි වීමය.

වනජීවී – මිනිස් ගැටුම්

වනජීවී – මිනිස් ගැටුම් අතරින් ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අපේ රට ලෝකප්‍රසිද්ධ රටක් බවට පත්කිරීමට හේතුවී ඇත. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දියාවට පමණි. අප මේ ගෙවා දමන සෑම දිනයකම මෙම පුංචි දිවයිනේ කොහේ හෝ තැනක අලියෙකු අකාලයේ මරණයට පත්වේ. තවද ගතවන සෑම සතියකම මිනිස් ජීවිත දෙකකට වඩා අලි-මිනිස් ගැටුම් හේතුවෙන් රටට අහිමිවේ. මෙම වනජීවී-මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ විශාල පාරිසරික, සමාජාර්ථික මෙන්ම දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබුණද එය අවමකිරීම සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට බලධාරීන් මෙතෙක් සමත්ව නැත. ඒ වෙනුවට සිදුවන්නේ යල් පැනගිය අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේද වෙනුවෙන් මහජන මුදල් කෝටි – ප්‍රකෝටි ගණනින් මකර කටට යැවීමය. වන අලින් සහ අසරණ ග්‍රාමීය ජනතාව තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීමය.

අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීම වෙනුවට මෙරට බලධාරීන් මූලිකත්වය දී ඇත්තේ එය ‘තිරසාර ගැහිල්ල’ ක් බවට පත්කර ගැනීමටය. ඒ සඳහා ඔවුන් මේ වනවිට යොදාගනිමින් සිටින අලුත්ම ප්‍රෝඩාව අගල් කැපීමය. ශ්‍රී ලංකාවේ මින් පෙරද අවස්ථා ගණනාවකදී අගල් ඉදිකර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට දැරූ ප්‍රයත්නයන් සාර්ථකවී නැත. ඒ වෙනුවට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ නියෝග මත සකස් කෙරුණු ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් බලධාරීන්ට ඉදිරිපත්වී තිබේ. 2020 ජූලි 22 දින පත් කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු එම ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ 2020 දෙසැම්බර් 17 දින ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇත. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත. නමුත් දැනට වසරකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් එම සැලැස්ම හමස් පෙට්ටියේ සඟවා ඇත. අලි-මිනිස් ගැටුම අවමකරගැනීමට ඉතා යෝග්‍ය සැලැස්මක් මෙසේ සඟවා තබාගෙන ගතවන දිනයක් දිනයක් පාසා ජීවිත සහ දේපොළ රැසක් රටට අහිමිකරමින්, ජන ජීවිත කබලෙන් ලිපට ඇද දමමින් අදාළ බලධාරීන් මේ මොහොතේද ජාතික උද්‍යාන වල පස් ටිකකත් වැඩය දීමට දත කෑම පිළිකුල් සහගතය.

පාලකයින්ගේ නොදැනුවත්කම

වර්තමානයේ රට තුල ඇතිවී තිබෙන අවිනිශ්චිත සහ අර්බුදකාරී තත්වයට මූලික හේතුව පාලකයින්ගේ නොදැනුවත්කම බව කිවයුතු නැත. පාලකයින් සියල්ල දත්තවුන් විය යුතු බව එමගින් අදහස් නොකෙරේ. නමුත් ඔවුන්ට ඒ සඳහා සුදුසු පුද්ගලයින්ගෙන් සහ ආයතන වලින් උපදෙස් සහ මගපෙන්වීම් ලබාගැනීමට හැකියාව ඇත. නමුත් ඒ වෙනුවට ඔවුන් සිදුකරන්නේ තමන් බුද්ධිමත් යැයි පෙන්වන රැවටිලිකාරයින්ගෙන් අනුශාසනා ලබාගැනීමය. උදාහරණයක් ලෙස වර්තමාන ආණ්ඩුවේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය නම් පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථය අයත් වෙන්නේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයටය. නමුත් එහි අමාත්‍යවරයාට සහ පරිපාලන ප්‍රධානියාට තම දැනුම් තේරුම් පරාසය අනුව බුද්ධියට ගෝචරවී ඇත්තේ ඔය කියන පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථයෙන් ‘අලිවැට හා අගල්’ පමණි. අලි-මිනිස් ගැටුම අවමකිරීම අන්තර් ආයතන සහයෝගයෙන් සිදුකළයුතු සාමූහික ක්‍රියාවක් බව අබැටක් තරම් වත් මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. නමුත් ඒ බව නොවැටහෙන අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විශ්වාසය තබන්නේ භෞතික බාධක කෙරෙහිම පමණි. ශ්‍රී ලංකාවේ අනෙකුත් පාරිසරික සහ ස්වභාවික සම්පත් සම්බන්ධ තීරණ ගනු ලබන ආයතන වල තත්ත්වයද ඊට අඩු වැඩි වශයෙන් සමානය. වඩාත් අවාසනාවන්ත කරුණ ඔවුන් තම නොදැනුවත්කම පිළිනොගැනීමය. තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන පාර්ශව වෙත ද්වේශ කරමින් අත්තනෝමතිකව ක්‍රියා කිරීමය. එම අත්තනෝමතිකත්වය අපේ රටේ ගමන් මග කොහෙන් නතරකරනු ඇතිද යන්න උභතෝකෝටිකයකි.

සුපුන් ළහිරු ප්‍රකාශ්