தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ශිෂ්‍ය නායකයකුට අධිකරණයෙන් ඇප දුන් පසුව නිරෝධායනයට කියමින් බූස්සට යවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශිෂ්‍ය නායකයකුට අධිකරණයෙන් ඇප දුන් පසුව නිරෝධායනයට කියමින් බූස්සට යවයි!



රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ නීතිවිරෝධී ආකාරයෙන් නිරෝධායන කඳවුරකට යොමුකිරීම සම්බන්ධව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධය පළ කරයි.
ජූනි 20 වැනිදා මොරවක නිවසට පැමිණි පොලිසිය ඔහුට වරෙන්තු ඇති බව පවසමින් අත්අඩංගුවට ගෙන පසුදින මාතර අධිකරණයට ඉදිරිපත් කළ බවද එහිදී ඇප නියම වූ නමුත් ඔහුව නිදහස් නොකොට නිරෝධායන කදවුරකට යොමු කරන්නට අත්තනෝමතික ලෙස කටයුතු කර ඇත. මෙහිදී ඉන්දික විදානපතිරණගේ මූලික අයිතිවාසිකම් කඩකරමින් නිරෝධායන නීතියද අවභාවිත කිරීමට කටයුතු කර ඇති බව අ.වි.ශි.බ.ම. පවසයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ පවත්වාගෙන යන රැඳවුම් කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීම සිදුකර ඇත්තේ මහෙස්ත්‍රාත්වරයා ඇප ලබාදීමෙන් පසුවය. මෙසේ නිරෝධායනයට යොමුකිරීම සම්බන්ධව ප්‍රකාශවන්නේ අමුතුම හේතු දැක්වීමක් බව ‘ලංකාවීව්ස්’ විසින් කළ සොයාබැලීමේදී හෙළි විය.
මෙම ශිෂ්‍ය නායකයාට විරුද්ධව කොළඹ අධිකරණයේ ඇති නඩුවකට ඉදිරිපත්කළ යුතු නිසා බන්ධනාගාර නිලධාරින් ඔහු නිදහස්කර නැති අතර, ඒ් අනුව, විය යුතුව තිබුණේ පසුදින කොළඹදී අධිකරණයට ඉදිරිපත් කිරීම වුවද ඒසේ කිරීමටද කටයුතු කර නැත. ඒ් වෙනුවට බන්ධනාගාරයට යැවිය යුතු බවට තීරණය කර ඇත. කෙසේ වෙතත් රැඳවියකු අලුතින් බන්ධනාගාරයට යොමුකරන විට නිරෝධායන රෙගුලාසි අනුව නිරෝධායනයට යොමුකරන බැවින් මෙසේ බුස්ස කඳවුරට යැවු බව ප්‍රකාශ කෙරිණි.

අධිකරණයට අපහාසවන අයුරින් බලධාරින් කටයුතු කර ඇත්තේ ශිෂ්‍ය නායකයන් මර්දනය කිරීමේ ද්වේශසහගත අරමුණ අනාවරණය කරමිනි. මෙසේ නිරෝධායන කඳවුරට යැවීමේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හෝ පවුලේ ඥාතීන් පවා ඒ් බව දැනුවත්කර නැති අතර පසුව ශිෂ්‍ය ක්‍රියාකාරින් විසින් සැකය මත බන්ධනාගාර හා රැඳවුම් කඳවුරු කිහිපයක කළ විමසීමකින් පසුව බූස්ස කඳවුරේ ඔහු සිටින බව දැනගෙන තිබේ. ඒ් අනුව අත්අඩංගුවට ගැනීමකදී සත්‍ය කරුණු පවුලේ ඥාතීන්ට දැනුම්දීම හා ඉන්පසුව ඇප ලබා දුන් පුද්ගලයකු බලහත්කාරයෙන් පැහැර ගෙන යාම සිදුව ඇත. කිසිවකුට අධිකරණයෙන් නියම කරන නියෝග තමන්ට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කළ නොහැකිය. මේ පසුබිම තුළ ඉන්දික විදානපතිරණ ශිෂ්‍ය නායකයා සම්බන්ධ ආණ්ඩුවේ පියවර ගැනීම වහාම මැදිහත් විය යුතු රුදුරු මර්දනීය තත්වයක පෙරනිමිත්තක් බව පැහැදිලිය.
ආණ්ඩුව මේ වනවිට සුක්ෂම ලෙස අයිතීන් වෙනුවෙන් හඩ නගන සියල්ලන්ට නිරෝධායන නීති හරහා මර්දනය ගෙන එන අතර එයට එරෙහිව පෙළ ගැසිය යුතු බව අ.වි.ශි.බ.ම. පෙන්වා දෙයි.