தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
සංවිධාන ගණනාවක එකතුවෙන් 'පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජනතා ව්‍යාපාරය' ගොඩ නැඟේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංවිධාන ගණනාවක එකතුවෙන් ‘පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජනතා ව්‍යාපාරය’ ගොඩ නැඟේ!



පරාක්‍රම සමුද්‍රය සම්බන්ධ විවිධ ව්‍යාපෘති හේතුවෙන් වැව් බැම්ම අනතුරට ලක් කිරීම ආදි අවදානම් ක්‍රියාමාර්ගවලට එරෙහි සංවිධාන ගණනාවක එකතුවෙන් ‘පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජනතා ව්‍යාපාරය’ අද දින ගොඩ නගන ලදී.

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත ගොවි සංවිධාන 38 ක් සමග ගොවි අරගල ව්‍යාපාරය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, ප්‍රගතිශීලී ගොවි සංගමය ඇතුලු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී ගොවි සංවිධාන රැසක නියෝජිතයන්ගේත්, නීතීඥ සංවිධාන, වෘත්තිකයන්ගේ සංවිධාන සහ පරිසර සංවිධාන ඇතුළු සංවිධාන රැසක් මෙම බහුජන ව්‍යාපාරය ගොඩනැගීමට එක්ව සිටියහ.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ආගමික නායකයන්ගේ සහභාගිත්වයක් ලැබී තිබිණි.

ඡායාරූප වල දැක්වෙන්නේ අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් නීතීඥ සංගමයේ සභාපති තිලක් බණ්ඩාර උඩගෙදර, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපති එම්. කේ. ජයතිස්ස, පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධාන සභාපතිවරයා ඇතුළු පිරිසක් එහිදී අදහස් දැක්වූ අයුරුය.

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති ගොවි ජනතාවගේ අරමුණු හා අවශ්‍යතා ආරක්ෂා කරමින් ජලාශයේ ‌‌ෙඑතිහාසික පැවැත්ම මෙන්ම ව්‍යුහාත්මක ආරක්ෂාව සඳහා මිස හුදු ව්‍යාපාරික පරමාර්ථයෙන් හෝ ආටෝපකාරී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිදු කිරීම හෙළා දකිමින් මෙම නියෝජිතයන් අදහස් දක්වන ලදී. එසේම ඉදිරියේදී ජලාශය හෝ ඒ ආශ්‍රිත වාරි පද්ධතියේ පැවැත්ම තර්ජනයට ලක් කරන කිසිදු කටයුත්තකට ඉඩ ලබා නොදෙන අයුරින් ජනතාව දැනුවත් කරමින් ශක්තිමත් ලෙස කටයුතු කිරීමට මෙම සංවිධානයේ නියෝජිතයන් කටයුතු කරන බව ප්‍රකාශ කළහ.