தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
සඟවා තිබූ සීනි ටොන් 29,900ක් සොයාගෙනලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සඟවා තිබූ සීනි ටොන් 29,900ක් සොයාගෙනලු



ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් ඊයේ (1) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බවත් එම සීනි තොග ජනතාවට පාලන මිලට දීමට කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල පවසා තිබේ. සීනි ආනයන සමාගම් හතරකට අයත් ගබඩා තුළ සඟවා තිබියදී මෙම සීනි තොග හමු වී ඇත.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍ අතර සීනි සහ සහල් සඳහා අද (02) සිට මිල පාලනයක් හඳුන්වාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් බව පවසමින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.

ඒ අනුව සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදුකර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

එහෙත් මේ පිළිබඳ අදහස් දක්වන සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් පවසන්නේ සීනි තොග සඟවා තබාගෙන සිටින ව්‍යාපාර හිමිකරුවන් වෙනුවෙන් කිසිදු පියවරක් ගන්නා බව දක්නට නොලැබෙන බවයි.