தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
සන්නද්ධ හමුදාවට පොලිස් බලය දීම ප්‍රජාතන්ත්‍රවාදය අත්හිටුවීමක්! - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සන්නද්ධ හමුදාවට පොලිස් බලය දීම ප්‍රජාතන්ත්‍රවාදය අත්හිටුවීමක්! – පෙ.ස.ප.



ආණ්ඩුව විසින් සන්නද්ධ හමුදාවන්ට පොලිස් බලතල ලබා දෙමින් සිවිල් කාර්යයන්ට හා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දෛනික කාර්යයන්ට කැඳවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ජනාධිපතිවරයා විසින් සන්නද්ධ ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල ලබාදීමේ නියෝග දෙවැනි වරටත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේ තීරණය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙ.ස.ප. පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ සම්බන්ධ විරෝධය ප්‍රකාශකර ඇත. මින් පෙර මෙකී අවශ්‍යතාව වෙනුවෙන් නොවැම්බර් 22 දින ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය නියමිත පරිදි බලාත්මක කිරීමට නම් එම නියෝගය අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවට යොමු කළ යුතුව තිබිණි. එහෙත් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති පසුබිමක දෙවැනි වරටත් එම නියෝග ප්‍රකාශයට පත්කරමින් දෙවැනි මාසයද එකී ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය ආණ්ඩුව විසින් පෙන්වා ඇත. එම තත්වය ප්‍රජාතන්ත්‍ර වරෝධී බව පෙ.ස.ප. අවධාරනය කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

හමුදාවට පොලිස් බලතල ලබාදීමේ තීරණය පිළිබඳ මාධ්‍ය නිවේදනය
නොවැම්බර් 22 දින නිකුත් කරන ලද අංක 2150/77 දරන ගැසට් නිවේදනය මඟින් මහජන සාමය පවත්වාගෙන යාමේ බලය, එනම් පොලීසිය සතු බලතල හමුදාවට පවරා තිබීම සම්බන්ධයෙන් දැනටමත් ඔබේ අවධානය යොමුවී ඇතැයි විශ්වාස කරමු. මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව සීමිත ප‍්‍රදේශයකට මාසයක කාලයක් සඳහා මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළ හැකි වුවද එය මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත යුතුය. නමුත් නොවැම්බර් 22 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය එලෙස අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවට යොමු කළේ නැත. ඊට පෙර පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරිණි. එලෙස නීතියට පටහැනිව මාසයක කාලයක් හමුදාවට පොලිස් බලතල පවරා තිබු අතර දැන් නැවත වරක් සැම්බර් 19 දිනැතිව නිකුත් කරන ලද අංක 2154/54 අති විශේෂ ගැසට් නිවේදනය හරහා යළිත් එම බලතල දෙසැම්බර් 22 දින සිට මාසයකට දීර්ඝ කර ඇත.
එය නීතියේ පවතින ප‍්‍රතිපාදනවලට මෙන්ම දේශපාලන සදාචාරයටද පටහැනිප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවක් බවට ඔබද එකඟ බැව් සිතමු. මහජන ආරක්ෂක පනතේ 12වන වගන්තිය සකස් කර ඇත්තේ විශේෂ කලබලකාරී තත්වයක් ඇතිවූ විට එය ඇතිවූ ප‍්‍රදේශය සඳහා සීමිත කාලයකට හමුදාව කැඳවීමේ බලයක් ජනාධිපතිවරයාට ලබා දීම සඳහාය. නමුත් මේ ගැසට් නිවේදන මඟින් එම නීතිමය ප‍්‍රතිපාදනයට මුවාවී, එම නීතිය සම්මත කිරීමේ අභිලාශය අවභාවිතා කරමින් ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උදුරා ගනු ලබයි. ඉහත සඳහන් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ, එවැනි කිසිදු විශේෂ සිදුවීමක් නැතිවත්, එම ව්‍යවස්ථානුකූල බලය භාවිතා කර, නිශ්චිත ප‍්‍රදේශයක් නොව මුළු දිවයිනම සහ ඊට අදාළ සාගරය නම් කරමින් නිසා. නීතියේ විශේෂ අවස්ථා සඳහා ඇති වගන්ති මේ ආකාරයට අවභාවිතා කිරීමේ වැරදි පූර්වාදර්ශයට ඉඩ නොතැබිය යුතු බව අපගේ ස්ථාවරයයි.
මීට පෙර මේ ආකාරයට හමුදාවට පොලිස් බලතල පවරා හමුදාව මහජන උද්ඝෝෂණවලට මැදිහත්වූ අවස්ථාවලදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ එම උද්ඝෝෂණවලට එල්ල වූ ප‍්‍රහාරයන් ඔබගේ අවධානයට යොමු කරන අතර එම අත්දැකීම් නැවත ප‍්‍රතිනිෂ්පාදනය වීම වලක්වාලිය යුතුය. එමෙන්ම නීතියේ ඇති ප‍්‍රතිපාදන සිය බල අවශ්‍යතා වෙනුවෙන් මේ ආකාරයට අවභාවිතා කිරීමේ පූර්වාදර්ශ පරාජය කළ යුතුය.

දුමින්ද නාගමුව – ප‍්‍රචාරක ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2019 දෙසැම්බර් 26