தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සමන්ත, නාමල් පොලිස් කූඩුවට! ඉතින් ඊට පස්සෙ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමන්ත, නාමල් පොලිස් කූඩුවට! ඉතින් ඊට පස්සෙ?



බොරලන්ද ප්‍රදේශයේ විරෝධතාවට සම්බන්ධ ක්‍රියාකාරින් පස් දෙනකු අත්අඩංගුවට ගත් ආණ්ඩුවේ පොලිසිය, නාමල් කරුණාරත්න හා සමන්ත විද්‍යාරත්න යන ජ.වි.පෙ. හිටපු මන්ත්‍රිවරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමේ සූදානමකින් කටයුතු කරන බව පෙනේ. මේ සඳහා පොලිසිය මගින් අධිකරණ නියෝග ලබා ගෙන ඇත.

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හා සටන්වැදීම, වෙනත් මත දැරීම මෙන්ම විරෝධය දැක්වීම මෙරට වයවස්ථාවෙන් ආරක්ෂා කරන අයිතියකි. එසේ වුවද පොලිසිය විරෝධතාකරුවන් සිරගතකිරීමට චෝදනා ගොනු කරන්නේ අයුතු ජන රාශිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ හේතුය. මහජන විරෝධතාවක් යනු අයුතු දෙයක් යැයි පොලිසියට තීරණය කිරීමේ අයිතියක් නැත. එසේම නිරෝධායන නීති ආරක්ෂා කරන විරෝධතාවලට කඩා පැන ඒවා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමේ වරද පසුගිය වසරක කාලයක් තිස්සේ සිදු කළේ පොලිසිය බව සිහිපත් කළ යුතුව ඇත. ජනතාව සමාජ දුරස්තභාවය සහිතව, මුඛ ආවරණ සහිතව පවත්වන විරෝධතා අසළට කුලු පොලු සහ ගිනි අවි රැගෙන යන්නේ මර්දනය සඳහා පොලිසියට අණ දෙන පාලකයන් වෙනුවෙනි.

රට පුරා ගොවි ජනතාව, ධීවර ජනතාව මෙන්ම වෙනත් ජීවනෝපාය කරන ජනයා මෙන්ම වෘත්තිකයන් සිය ගැටලු හමුවේ විසඳුම් නොමැති තත්වයක් තුළ උද්ගෝෂණ මගට බසිමින් සිටී. මේ වන විට කොරෝනා වසංගතය මැද පීඩා විඳින ආර්ථික ගැටලුවලට මුහුණ දෙන ජනයාට පොහොර නොමැතිකමෙන් සිය ජීවත්වවීමේ විහ්වාසය අහිමිකර ඇත්තේ වත්මන් ආණ්ඩුවයි.

පොලිසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා තරමට ඉදිරියට ගිය බොරලන්ද නගරයේ උද්ඝෝෂණයට ගොවි ජනතාව පැමිණියේ ගුරුතලාව, රත්කරව්ව, බෝගහකුඹුර ඕහිය ප්‍රදේශවලිනි. පෙළපාලියෙන් පැමිණි සටන්කාමී ගොවියෝ උද්ඝෝෂණය කළේ ආණ්ඩුව විසින් කඩිකුලප්පුවෙන් කළ පොහොර – කෘෂි රසායන තහනම හේතුවෙන් තමන් ඇද වැටී ඇති තත්වය පාලකයන් නොසළකා හැරීම නිසාය.  විරෝධතාවට සහභාගිවූවන්ගේ ප්‍රකාශ සටහන් කර ගත් පොලිසිය විසින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. එහි දී සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටින ලදී.

රට පුරාම ගොවි ජනතාව විරෝධය දක්වන්නේ ආණ්ඩුව විසින් ගෙන යන පොහොර ප්‍රතිපත්තියේ වංචනික බව නිසා තමන්ට මෙන්ම ඉදිරියේ රටට විඳින්නට සිදුවන හානිය වටහාගෙනය. මේ විරෝධතාවලට සම්බන්ධ වූවෝ ගොවි ජනතාව බව නිසැකය. දේශපාලන පක්ෂවලින් ඒවා සංවිදානය කලත් නැතත් ගොවි ජනතයා කෝපයෙන් සිටින්නේ තමන් විසින් ඡන්දය දුන්, තමන්ට බොරු පොරොන්දු දුන් පාලකයන් තම ජීවන මාර්ගය වනසන්නට කටයුතු කරන නිසාය. ‘ආපහු ඡන්දය ඉල්ලන්න එන්න එපා’ යැයි ඔවුන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ට පවසමින් සිටී. නමුත් මෙම විරෝධතා ජ.වි.පෙ. විසින් සිදුකරන බව පවසමින් එහි වරද ජ.වි.පෙ. මත පැටවීමට ආණ්ඩුව උත්සාහ කරන වක් පෙනී යයි. රජිත් කීර්ති පවසන ආකාරයට ගොවි විරෝධය නිහඬ කරන්නට ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි නිසා දැන් කරමින් ඉන්නේ විරෝධතා දක්වන ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීමය.

මෙම විරෝධතාවයට සහාය පළ කළ, නිවැසියන්, කඩහිමියන් පවා මර්දනයට ලක් කිරීමේ උත්සාහයන් දක්නට ඇත. බොරලන්ද නගරයේදී පැවැති විරෝධතා රැස්වීමට විදුලිය සැපයූ, පිපාසයට පත් විරෝධතාකරුවන්ට ජලය දුන් අයට ද චෝදනා ගොනු කෙරෙනු ඇත්තේ අයුතු ජනරාහියකට සහායවීම සම්බන්දයෙනි. විරෝධතාවයේදී හඬනැගූ භික්ෂූවක් හා කාන්තාවන් සැකකාරයන් ලෙස පොලිසිය විසින් නම්කර ඇත. ලංකාවේ උඩරට එළවළු වගාවට මෙන්ම අර්තාපල් වගාවට ප්‍රකට මෙම ගොවි ජනතාව සිය ජීවන මාර්ගයට පහර වැදීමෙන් වේදනාවට හා කෝපයට පත්ව පාරට බැස්සද ඔවුන්ට ඇත්තේ ආණ්ඩුව සමග වෛරයක් යැයි කිව නොහැකිය. මේ විරෝධය දක්වන්නේ පොදු ජන පෙරමුණේ ජනාධිපති ගෝඨාභය බලයට ගෙන එන්නට 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදී මෙන්ම වත්මන් ආණ්ඩුව පත් කිරීමට 2020 අගෝස්තුවේ ඡන්දය දුන් බහුතරයක් සහිත ගොවි ජනතාවය. යම් ආකාරයකට රාසයනික වගාවේ ගැටලු සම්බන්ද දැනුවත් කිරිමක් කරමින් විධිමත් ලෙස කාබනික කෘෂිකර්මාන්තයට යොමු කිරීමේ පුලුල් වැඩපිලිවෙළක් ආරම්භ කරන්නේ නම්, ඔවුන් ආණ්ඩුව සමග එවැනි නිහ්චිත වැඩසටහනකදී යම් යම් පාඩු ලබමින් වෙනස්කම් කිරීමට පවා එකඟ වනු ඇත. නමුත් පාලකයන්ගේ පිළිතුර වෙනදා මෙන්ම මර්දනය බව පැහැදලිය.

මේ වන විට අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ඇප පිට නිදහස් කර ඇත. නාමල් කරුනාරත්න හා සමන්ත විද්‍යාරත්න දඩයම් කිරීමට පොලිසිය සූදානම්ය. පසුගිය කාලයේ එක් පක්ෂයක නවලිබරල්වාදී ජනතා විරෝධී පිළිවෙත් විවේචනය කරමින් වංචා දූෂණ සම්බන්ධ බැන අඩගසමින් වෙනත් පක්ෂයක දූෂිත නවලිබරල්වාදී පාලනයට පාරකැපීම සම්බන්ධයෙන් මේ දෙනො නියෝජනය කරන දේශපාලන ප්‍රවාහයට ගැලවීමට නොහැකිය. ඔවුන්ගේ දේශපාලනය මේ ඉදිරි කාලයේදී කුමන දිසාවකට යනු ඇත්දැයි සහතිකයක් නැත. එසේ තිබියදී වුවද විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම, ජනතා අරගල මර්දනය යන කාරනයේදී ආණ්ඩුවට එරෙහිව කොන්දේසි විරහිතව ඒකරාශි විය යුතුව ඇත. ගොවි ජනතාව සමග එක්ව ජ.වි.පෙ. ඇතුලු විපක්ෂ කන්ඩායම් ගෙන යන විරෝධය නිසා ආණ්ඩුවට සිය පැවැත්ම අහිමි වෙමින් පවතින බව නිසැකය. ගොවි ජනතාවට මෙන්ම ආණ්ඩුව ගෙන යන අමනෝඥ පිළිවෙත් හෙළා දකින පොදු ජනතාවට ආණ්ඩුව එළවා පත් කිරීමට ඇත්තේ කවුරුන්ද? වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන පිළිවෙත් වෙනුවට ජනතාවට හිතැති පිළිවෙත් සළකා බලන සැබෑ දේශපාලන විකල්පයක් මේ වන විට බලය ලබා ගත හැකි මට්ටමක නැති බව නම් නිසැකය. නමුත් විකල්ප බලයේගයක් නිර්මාණය කිරීමේ වගකීම නම් අත්හැරිය යුතු නැත.

ආණ්ඩුව විසින් ගෙන යන අමනෝඥ පිළිවෙත්, වංචා දූෂණ හේතුවෙන් කෝපයට පත්වන සහ කලකිරීමට පත්වන ජනයා සවිමත්ව එක් රැස් කරමින් ඔවුන්ගේ ගැටලු විසඳීම වෙනත් දියසෙන් කුමාරයකුගේ ඡන්ද මල්ලකට භා දිය යුතු නැත. ගොවි ජනතාව සිය ජීවන ක්‍රමය ආරක්ෂා කරගැනීමට වීදි බසින මේ සටන්කාමී දේශපාලන ප්‍රවේශයේදී නායකත්වය දෙන්නට ඔවුන්ම දේශපාලනිකව බල ගැන්වීමක් අවශ්‍ය වේ. එනම්, නායකත්වයට පීඩිත ජනයාගේම නායකයන් කැඳවන වාමාංශයේ දේශපාලනය සවිමත් කළ යුතුව ඇත. නාමල් කරුණාරත්න හා සමන්ත නියෝජනය කරන ජ.වි.පෙ. දේශපාලනයේදී මෑතක නම් දක්නට ලැබුනේ එවැනි අරමුණක් නොවේ. ආණ්ඩු විරෝධය වෙනුවෙන් ‘ගිරිය කඩා ගෙන, ගුටි කාගෙන’ දේශපාලනය කරමින් ජනතාව මර්දනය කරන සිරගත කරන අවසානයේ ණයකාරයන් කරන දූෂිත හා මර්දනකාරී ආණ්ඩු බලයට ගෙන ආ යුතුද? ආණ්ඩුවට එරෙහිව වමේ නාමයෙන් කොතරම් විරෝධයක් ගොඩනැගුවද අවසානයේ ඒ විරෝධයේ ප්‍රතිඵල හිමිවන්නේ නව ලිබරල් දේශපාලන දහං ගැටවලින් ජනතාව රවටමින් පවතින සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය තිරිහන් කරන ව්‍යාපෘතියකට නම් ජනතාව වමේ දේශපාලනය පිළිකෙව් කරනු ඇත.