தமிழ்
English
Contact
Friday 16th April 2021    
සමාගම් 3ක් ගෙන්වූ පොල්තෙල්වල “ඇෆ්ලටොක්සින්'' අඩංගු බව දෙවනවරටත් තහවුරු වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාගම් 3ක් ගෙන්වූ පොල්තෙල්වල “ඇෆ්ලටොක්සින්” අඩංගු බව දෙවනවරටත් තහවුරු වෙයි



සමාගම් 3ක් විසින් ආනයනය කරන ලද පොල්තෙල් තොගවල “ඇෆ්ලටොක්සින්” නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව දෙවන පරීක්ෂාවෙන් ද තහවුරු වී තිබේ.

මෙම සමාගම් ඉදිරිපත් කර තිබුණු අභියාචනා මත යළිත් සාම්පල පරීක්ෂා කර තිබුණි. මේ වන විට එම පොල්තෙල් තොග නිසි ප්‍රමිතියෙන් නොවන ඒවා බවට තහවුරු වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත යොමුකර ඇත.

ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම,එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ තෙල්තොගවල “ඇෆ්ලටොක්සින්“නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.

“ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් 183,000 ක් අඩංගු බහාලුම් 13 ක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවටයි පසුගියදා අනාවරණ විය.

එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පැවසුවේ තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් බවයි.

ඒ අතර ඉන් ප්‍රමාණයක් වෙළෙඳපොළට නිදහස් කර ඇති බවටද චෝදනා නැගෙමින් පවතියි. එසේම මීට පෙරද මෙවැනි ආකාරයේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳ පොළට නිකුත් වෙන්නට ඇති බවට ජනතාව තුළ සැක මතුවෙමින් ඇත.