தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
සමාප්ත කාලය සහ අවසන් සටන; සමකාලීන ලෝකයේ දේශපාලන ආර්ථිකය ගැන.., | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාප්ත කාලය සහ අවසන් සටන; සමකාලීන ලෝකයේ දේශපාලන ආර්ථිකය ගැන..,



සුමිත් චාමින්ද

ලේඛකයා ‘ප්‍රැක්සිස් සාමුහිකය’ නියෝජනය කරමින් කලක් තිස්සේ වාමාංශික දේශපාලන අවකාශය තුළ න්‍යායික සංවාදයකට සම්බන්ධ වී සිටී. ‘අනිද්දා’ පුවත්පතේ වාර්ෂික සංවත්සර ප්‍රකාශනයෙහි පළ කිරීම සඳහා ලියන්නැයි ඇරයුම් ලැබ ඔහු විසින් ලියන ලද ලිපියක් අප වෙත එවා තිබිණි. එම සම්පූර්ණ ලිපිය ඔහුගේම පූර්විකාවක් සමගින් පහත පළ වේ. 

ලේඛකයාගේ පූර්විකාව

මෙය, “අනිද්දා” පුවත්පතේ වාර්ෂික සංවත්සර ප්‍රකාශනය සඳහා ලිපියක් ලියන ලෙස කළ ඉල්ලීම පරිදි මවිසින් ලියන ලද්දකි.  නියමිත දිනට බාරදෙන ලද මේ ලිපිය අදාළ ප්‍රකාශනය තුළ පළ කොට තිබුණේ නැත. ඒ පිළිබඳව විමසූ විට අපට දන්වන ලද්දේ මෙය පළ කිරීමට නොහැකි වූයේ තාක්ෂණික හේතුවක් නිසා බවත් සති දෙකක් තුළ අනිවාර්යයෙන්ම මෙය ‘අනිද්දා’ පුවත්පතෙහි පළ කරනු ලබන බවත්ය. නමුත්, එය එසේ සිදු නොකෙරිණ. “අනිද්දා” පුවත්පත තුළ දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයක් හිමි කොටගෙන තිබෙන ‘ලාංකීය වර්ගයේ ලිබරල්වාදය’ මේ ලිපියෙන් න්‍යායිකව සහ දේශපාලනිකව විවේචනයට ලක් කෙරේ. පෙනී යන ආකාරයට “අනිද්දා” පුවත්පතේ ප්‍රතිචාරය වී ඇත්තේ අප විසින් ඉදිරිපත් කරන ලද අභියෝගය භාර ගැනීම වෙනුවට අපගේ අදහස් පළ කිරීමෙන් පවා වැළකී සිටීමය. අපි “අනිද්දා” පුවත්පතේ මේ ලැජ්ජාසහගත මාධ්‍ය භාවිතය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතරම, සමකාලීන ලාංකීය සහ ගෝලීය සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රවණතා පිළිබඳ අපගේ විශ්ලේෂණ සමාජගත කිරීමේ විකල්ප මාධ්‍යයන් නියතවම සොයා ගන්නෙමු. ‘ලාංකීය වර්ගයේ ලිබරල්වාදය’ පිළිබඳ විවාදයට අප දැන් අන් කවරදාටත් වඩා සූදානම්ය.

2020 න් පසු ලංකාව පරිකල්පනය කරන්නට ඔබ අපට ඇරයුම් කරයි. එසේ කළ හැක්කේ අපට 2020 න් පසු ලෝකය පිළිබඳ පරිකල්පනයක් ගොඩ නගා ගත හැකිනම් පමණි. “ලංකාව පවතින්නේ ලෝකය තුළ මිස ලෝකය පවතින්නේ ලංකාව තුළ නොවේ” යැයි ඇතැම් ලිබරල්වාදියෙකු ජාතිකවාදියෙකුට උදාරම් ලෙස තේරුම් කර දෙනු අපි දැක ඇත්තෙමු. නමුත්, ලංකාවේ සමකාලීන ලිබරල්වාදීන් වුවත් සිටින්නේ ජාතික රාජ්‍යයේ පර්යාවලෝකනයක් තුළ හෝ අතීතයට හැරුණු පර්යාවලෝකනයක්  තුළ බවට සහේතුක තර්කයක් ගොඩ නැගිය හැකිය. සමකාලීන ලෝකයේ සිදුවෙමින් පවතින දේශපාලන-ආර්ථිකමය පරිවර්තන පිළිබඳ විග්‍රහයක් මෙරට ලිබරල්වාදීන් සතුව තිබේද?  ඔවුන්ගෙන් ඇතැමෙකු ඉමහත් ආඩම්බරයෙන් මේ ප්‍රශ්නයට “ඔව්” යනුවෙන් පිළිතුරු දෙනු ඇත. නමුත්, ඔවුන් කතා කරන්නට පටන් ගත් මොහොතේ සිටම අපට ඇසෙනු ඇත්තේ 1990 දශකයේ ලෝකය පිළිබඳ යල් පැනගිය ඒකාකාරී විස්තර රැසකි. නවීකරණයේ මග වැටී ඇත්තේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීම තුළ යැයි ඔවුන් පවසනු ඇත; ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ නිදහස් වෙළඳපළ ප්‍රතිපත්තීන් ඔස්සේ පමණක් යැයි පවසනු ඇත; සමාජවාදය අතීතයට අයත් යැයි පවසනු ඇත; මෑතකදී මංගල සමරවීර ඇමතිවරයා පැවසූ ලෙස කැලෑ වැදුණු ඉඩමක් වූ සිංහරාජය කපා දමා එතැන ෆැක්ටරියක් තැනීම සංවර්ධනයේ මාවත යැයි ඇතැම් ආර්ථික ලිබරල්වාදියෙකු ඉමහත් ඒත්තු ගැනීමකින් යුතුව පවසනු ඇත! (ඉහත ප්‍රකාශය ලාංකීය “ලිං මැඩි ලිබරල්වාදයේ” චින්තනමය දරිද්‍රතාව කදිමට සංකේතවත් කරයි. එවැන්නක් කිව හැක්කේ විසි එක් වන සියවසට තම පසුපසත් දහනම වන සියවසට මුහුණත් හරවාගෙන සිටින ගතානුගතිකවාදී හණ මිටිකාරයෙකුට පමණි). ලාංකීය සමකාලීන ලිබරල්වාදය එබඳුය. ”අනිද්දා” පුවත්පත තුළ දෘෂ්ටිවාදී ආධිපත්‍යයක් හිමි කරගෙන සිටින එම ලාංකීය වර්ගයේ ලිබරල්වාදය සමකාලීන ලෝකය ලෙස දකින්නේ 1990 දශකයට අයත් කතිකාමය ලෝකයකි.   නමුත්, 2020 න් පසු ලෝකය පරිකල්පනය කිරීමට නම් අප ප්‍රථමයෙන් 1990 දශකය අවසන් වී ඇති බව වටහාගත යුතුය.

ඉතිහාසයේ අවසානයේ දශකය 

’90 දශකය සංලක්ෂිත වූයේ කුමකින්ද? 1989 නොවැම්බරයේදී බර්ලින් තාප්පය බිඳ වැටීමෙන්ද (හරියටම ඒ මසදීම ජවිපෙ දෙවන සන්නද්ධ අරගලය පරාජයට පත් විය), 1991 දෙසැම්බරයේදී සෝවියට් දේශය කැබලිවලට කැඩී යාමෙන්ද, 1990 දී පෝලන්තයේ ලෙක් වැලේසාගේ සහයෝගීතා ව්‍යාපාරය බලයට පත් වීමෙන්ද, ඒ වසරේදීම කොමියුනිස්ට් යුගෝස්ලාවියාව ජනවාර්ගික බෙදුම් ඉරි ඔස්සේ කැඩී විසිරී යාමෙන්ද, තෘෂ්නි යුද්ධයේ සමාප්තියෙන්ද, ජ්‍යෙෂ්ඨ ජෝජ් බුෂ්ගේ ඊනියා නව ලෝක රටාවෙන්ද, 1992 දී ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය සහ අවසන් මිනිසා” පිළිබඳ ප්‍රවාදය ඉදිරිපත් වීමෙන්ද, 1990 දී ගල්ෆ් යුද්ධයේ ආරම්භයෙන්ද (ඒ සමග මැද පෙරදිග කලාපය තුළ එක්සත් ජනපදයේ පශ්චාත්-තෘෂ්නි යුද උපාය මාර්ගය ඇරඹිණ), 1993 යුරෝපා සංගමය ගොඩ නැගීමෙන්ද, නව-ලිබරල්වාදී ගෝලීයකරණයෙන්ද, බටහිර ලෝකයේ දක්ෂිණාංශික දේශපාලනයේ රළ නැග්මෙන්ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ හැකිලී යාමෙන්ද, ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නැග ඒමෙන්ද අනූව දශකය සංලක්ෂිත විය. එය ලොව පුරා වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් සර්ව-අසුබවාදී පර්යාවලෝකනයක් සහිත දශකයකි; “නව-ලිබරල්වාදයට විකල්පයක් නැත” යන මාගරට් තැචර්ගේ සූත්‍රය ලොව පුරා දක්ෂිණාංශික නායකත්වයන් විසින් පුනරුච්ජාරණය කරන්නට යෙදුනු දශකයකි; විසිවන සියවසේ සමාජවාදය වෙනුවෙන් වූ ව්‍යාපෘතීන් සියල්ලම පාහේ පරාජයට පත් වූ සෙයක් පෙනුණු දශකයකි.  ලංකාවේ ලිබරල්වාදීන් තවමත් වාමාංශික න්‍යාය සහ දේශපාලනය විවේචනය කරන්නේ මෙම අනූව දශකයේ පර්යාවලෝකනය තුළ ස්ථානගත වී හිඳිමින්ය.

2008 න් පසු ලෝකය 

නමුත්, මා මින් පෙරද පැවසූ පරිදි දැන් අනූව දශකය අවසන්ය; එය අවසන් වූයේ හරියටම 2008 දීය. මේ ඓතිහාසික යුග වෙනස පසුපස තිබූ දේශපාලන-ආර්ථික පසුතලය මහාචාර්ය රිචර්ඩ් වූල්ෆ් කදිමට පහදයි. 1970 දශකයේ ආරම්භයේදී මිල්ටන් ෆ්‍රීඩ්මාන් ඇතුළු “චිකාගෝ කොල්ලන්ගේ” මග පෙන්වීමෙන් ඇරඹි නව-ලිබරල්වාදය පශ්චාත්-තෘෂ්නි යුද වසරවලදී ගෝලීය විජයග්‍රහණය සැමරීමේ මුහුණුවරකින් පසු විය. ඒ ගෝලීයකරණයේ රැල්ල සමග අතිනත ගනිමින්ය. නමුත්, එය ඒ  සමගම මාක්ස්ගේ වචනයෙන් කිවහොත් තම මිනී වල කපා ගන්නටද පටන් ගත්තේය. මාක්ස් හඳුනාගත් ධනවාදයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධයක් වෙතට වූල්ෆ් මෙහිදී අපගේ අවධානය යොමු කරවයි. එම ප්‍රතිවිරෝධය නම් එක් පසෙකින් නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනය තුළින්ම ඇති කරන අධි-නිෂ්පාදනයත් (over-production) අනෙක් පසින් එම ක්‍රියාවලියේම ප්‍රතිපලයක් ලෙස කම්කරුවන් අතර ප්‍රාග්ධන නිර්-සමුච්චකරණයක් (de-accumulation) ඇති වීමත්ය. සරලව කිවහොත්, භාණ්ඩ නිෂ්පාදනයේ අධික වර්ධනයක් ඇති වීමට සමාන්තරව ඒ භාණ්ඩ මිළදී ගැනීමට බහුතර ජනතාවට ඇති හැකියාව අඩු වී යයි. එවිට මිළ මට්ටම්වල පහළ යාමක්ද, නිෂ්පාදකයන්ගේ ලාභ රේට්ටුවේ බිඳ වැටීමක්ද ඇති වේ; කර්මාන්ත වසා දමන්නට සිදුවේ; විරැකියාව වර්ධනය වේ; මිළ දී ගැනීමේ හැකියාව තවත් පහළ යයි; අර්බුදය උග්‍ර වේ.

ඇඩම් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝ ගේ සම්භාව්‍ය දේශපාලන ආර්ථික න්‍යාය මගින් අපේක්ෂා කළ පරිදි නිදහස් වෙළඳපල විසින් ආර්ථිකමය සමතුලිතතාවක් ඇති නොකරයි. ඒ වෙනුවට ධනවාදය ගමන් කරන්නේ අර්බුද ජනනය කරමින්ය. (මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ අනු-මාතෘකාව “දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනය” යන්නයි).වූල්ෆ් මේ න්‍යාය ඇසුරින් නිෂ්පාදනයේ ගෝලීයකරණය පිළිබඳ සංසිද්ධිය පැහැදිළි කරයි. ගෝලීයකරණය තුළ සංවර්ධිත ධනවාදී රටවල කර්මාන්ත පරිවාරයේ රටවල් කරා විතැන් වූ බව අපි දනිමු. නිදසුනක් ලෙස මෑතකදී රනිල් වික්‍රමසිංහ ඉතාම උජාරුවෙන් ප්‍රකාශ කළ පරිදි දැන් ලොව හොඳම ජංගි (වික්ටෝරියා සීක්‍රට්) නිපදවන්නේ ලංකාවේය. හොඳයි, මේ ජංගි කර්මාන්ත ලංකාව කරා පැමිණෙන්නේ මන්ද? ලාංකිකයින් ”ජංගි විශේෂඥයින්” යැයි ඔවුන් කල්පනා කරන නිසාද? නැත. මෙරට ශ්‍රම-ශක්තියට ගෙවන අඩු මිළ (එනම් අඩු වැටුප්) නිසාය. අප ඉරී ගිය ජංගි අඳින සමාජයක් නිසාය.

ගෝලීයකරණය තුළ ලාභ ශ්‍රමය ඇති තැන් වෙතට ගෝලීය ප්‍රාග්ධනය ගලා යයි. නමුත්, එහිදී මාක්ස් ඉහත පෙන්වාදුන් ප්‍රතිවිරෝධය වඩාත් තියුණු ලෙස එයට අභිමුඛ වේ. ප්‍රාග්ධනය ලාභ ශ්‍රමය සොයා සංචලනය වනවා යනු සමස්තයක් ලෙස, එනම් ගෝලීයව, ශ්‍රම ශක්තියේ මිළ පහත වැටෙනවාය යන්නයි. වෙනත් ලෙසකට කිවහොත්, අධි-නිෂ්පාදනයේ ගැටළුව සහ ඒ ඇසුරින් පැන නැගෙන ආර්ථික අර්බුදය වඩ වඩාත් තියුණු කිරීමට ගෝලීයකරණය ඉවහල් වේ. මේ අර්බුදය සංවර්ධිත ධනවාදී රටවලට දරුණු ලෙස දැනෙන්නට පටන් ගන්නේ ඒ රටවල කර්මාන්ත පරිවාරයට විතැන් කිරීම නිසාය. ගෝලීයකරණ යුගයේ කාර්මික නිෂ්පාදනයේ ෆැක්ටරිය බවට පත් වන්නේ ලාභ ශ්‍රමය ඇති ප්‍රදේශය. එහි ප්‍රතිපලයක් ලෙස කේන්ද්‍රයේ රටවල විරැකියාව වර්ධනය වනවා පමණක් නොවේ; නීති විරෝධී සංක්‍රමණික ශ්‍රමය සූරා කෑමේ නව නැඹුරුතාවක්ද ව්‍යාප්ත වේ. සංවර්ධිත ධනවාදී ලෝකයේ පැන නගින අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ල තුළ සංක්‍රමණ විරෝධය ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වන්නේ මේ තතු යටතේය.       2008 න් පසු ලෝකය වටහා ගැනීමේ දේශපාලන ආර්ථික ඛණ්ඩාංක කිහිපයක් දැන් අප සතුය. නමුත්, 2008 ආර්ථික අර්බුදය පැන නැගුණේ සම්භාව්‍ය මාක්ස්වාදය තුළ කියැවෙන නිෂ්පාදන ක්ෂේත්‍රයේ අර්බුදයක් ලෙස වනවාට මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් ලෙස නොවේදැයි යමෙකු විමසිය හැකිය. මෙය අප තේරුම් කරන්නේ කෙසේද?

සමකාලීන ප්‍රමුඛතම දේශපාලන අර්ථ ශාස්ත්‍රඥයෙකු වන යානීස් වරූෆකිස් (ග්‍රීසියේ වාමාංශික සිරිසා ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා සහ පසුව යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා) මේ සඳහා කදිම විශ්ලේෂණයක් සපයයි. නව-ලිබරල්වාදී යුගයේ කාර්මික ප්‍රාග්ධනය පරයා මූල්‍ය  ප්‍රාග්ධනය අධිපතීත්වය හිමි කර ගනී; කලින් කාර්මික නිපැයුම්කරුවන් වූ ධනපතීන් පවා මූල්‍ය ඒකාධිකාරීන් බවට පත්වේ (නිදසුනක් ලෙස ජෙනරල් මෝටර්ස් සමාගම). අප ඉහත සඳහන් කළ ධනවාදී ආර්ථික අර්බුදය සඳහා මේ යුගයේ ධනවාදය විසින්ම ලබාදෙන විසඳුමක් තිබේ නම්, ඒ මූල්‍යකරණයයි. වඩාත් සරලව කිවහොත්, කම්කරුවන් අතර ප්‍රාග්ධනය නිර්-සමුච්චකරණය වන විට ඔවුනට භාණ්ඩ මිළදී ගැනීමට ඇති හැකියාව ක්ෂය වී යයි. එය අර්බුදයක් දක්වා වර්ධනය නොවීම පිණිස 1970 ගණන් දක්වා ක්‍රියාවේ යොදවන ලද කේන්සියානු උපාය වූයේ රාජ්‍ය සුබසාධන ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමයි; එනයින්, පහළ සමාජ පංතීන් වෙත ආදායම් පුනර්-ව්‍යාප්තීකරණයක් (income re-distribution) වීමට සැලැස්වීය. අප දැන් දන්නා පරිදි නව-ලිබරල් මොඩලය තුළ රාජ්‍ය සුබසාධනවාදය සැලකෙන්නේ යල් පැන ගිය දෙයක් ලෙසය. අතීතයට මුහුණ හරවාගෙන සිටින ලාංකීය ලිබරල්වාදීන්ද ඉමහත් උජාරුවෙන් පවසන්නේ අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවය සුබසාධන සේවයක් ලෙස සැලකීම පැරණි අදහසක් බවයි. (1990 දශකයේදී අලුත් සුසමාදර්ශයක් ලෙස පෙනුණු මේ අදහස දැන් යල් පිනූ එකක් බව කෝබින්-සැන්ඩර්ස්-වරූෆකිස් ත්‍රිත්වයේ නායකත්වයෙන් ගොඩ නැගෙන “ප්‍රගතිශීලී ජාත්‍යන්තරය” අපට පෙන්වා දෙයි). එසේනම්, දැන් අධි-නිෂ්පාදිත භාණ්ඩවලට පහළ සමාජ පංතීන් කෙරෙන් ඉල්ලුමක් ජනනය කරන්නේ කෙසේද?

මූල්‍යකරණ යුගයේ මේ ප්‍රශ්නයට දෙනු ලබන විසඳුමක් තිබේ. එනම් ණයයි. අපගේ වැනි රටවලට ණය දෙනු ලබන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ නිෂ්පාදන මිළදී ගනු පිණිසය. වෙනත් වචනයෙන් කිවහොත් ගෝලීය ධනවාදී පද්ධතියේ සමතුලිතතාව රැක ගනු පිණිසය. මේ ණය ආර්ථිකය මහේක්ෂ තලයේ සිට ක්‍ෂුද්‍ර පුද්ගලික තලය දක්වා දිව යයි. ඔබ මහමගදී දකින වාහන පෝලිම් යනු ණය, ලීසිං හෝ රක්ෂණ පෝලිම්ය; අහස උසට ඉදිවන ගොඩනැගිලි සංකීර්ණ යනු ණය කඳුය. කොටින්ම අප දැන් ජීවත් වන්නේ ණය මගින් පිම්බූ ආර්ථික බුබුලක් තුළය. මේ බුබුල පිපිරී ගිය විට අප සැම “සැබෑවේ කතරට” නොහොත් මහමගට වැටෙනු ඇත. 2008 දී එක්සත් ජනපදය තුළ වචනාර්ථයෙන්ම සිදු වූයේ එයයි. එනම්, මිනිසුන් දහස් ගණනින් නිවාස අහිමිව මහමගට වැටීමයි. මූල්‍යකරණය විසින් ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදයට විසඳුමක් නොදෙන බැව් මෙයින් පැහැදිළි වේ. මන්ද යත්, මූල්‍ය ආයතනවලට පැවතිය හැක්කේ ණය ගත් අයවලුන් හට ඒ ණය ආපසු ගෙවිය හැකි තාක්කල් පමණි.

2015 ග්‍රීසියේ අර්බුදයෙන් පෙන්නුම් කළේ ණය මගින් පිම්බූ ගෝලීය ධනවාදයේ බුබුල පිපිරී යා හැකි බවයි. ලංකාවේද මේ දිනවල ග්‍රාමීය දුගීන් ඉලක්ක කරගෙන වැඩෙන ඊනියා ක්‍ෂුද්‍ර ණය මගින් ඔවුන් තව තවත් දරිද්‍රතාවේ උගුලට සිර කෙරෙමින් පවතින බවට නිදසුන් දහස් ගණනක් සැපයිය හැකිය. වරූෆකිස් තර්ක කරන පරිදි මූල්‍යකරණය තුළ කිසිවක්ම නිෂ්පාදනය නොකොට සුපිරි ධනපතීන් බවට පත්වන පරපුටු පංතියක්ද නිර්මාණය වේ. නිදසුනක් ලෙස මූල්‍ය අනුපාතවල උච්චාවචන ප්‍රයෝජනයට ගෙන සුදූ කෙළින මූල්‍ය ගැණුම්කරුවන් සැලකිය හැකිය. ඩේවිඩ් හාවීට අනුව, නව-ලිබරල් හැරවුමෙන් පසුව ගෝලීය ධනපතීන් අතලොස්සක් අතර ප්‍රාග්ධනය සමුච්චනය වීම නාට්‍යමය ලෙස වර්ධනය වී ඇත. ඒ කොතරම්ද යත්, 2019 වසරේ ඔක්ස්ෆෑම් වාර්තාව අනුව පසුගිය වසරේදී ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනය ලෝක ජනගහණයේ දුගීම අර්ධයේ (එනම්, බිලියන 3.8 ක ජනයාගේ) ධනයට සමානය. එපමණක් නොව ලොව ධනවත්ම බිලියනපතියන් 2200 දෙනාගේ ධනය 12% ක වේගයෙන් වර්ධනය වන අතර දුගීම අර්ධයේ ධනය 11% ක වේගයෙන් පහත බසිමින් තිබේ. මේ උග්‍ර වන අසමානතාව ව්‍යුහාත්මක වූවක් මිස අනපේක්ෂිත අහඹුවක් නොවේ. 

ලිබරල්වාදී යුතෝපියාවේ බිඳ වැටීම 

1990 දශකය සලකුණු වූයේ සමාජවාදී පරිවර්තනයක් පිළිබඳ අපේක්ෂාවේ බිඳ වැටීමෙන් නම්, 2008 න් පසු යුගය සලකුණු වන්නේ ධනවාදී සංවර්ධනය විසින් සමස්ත මිනිස් වර්ගයාම ශිෂ්ටාචාරමය විනාශයක් කරා රැගෙන යන්නේය යන සර්ව අසුබවාදී චිත්‍රයෙන්ය. ඒ චිත්‍රයේ එක් පැතිමානයක් නම් ලොව පුරා වැඩෙන දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ රැල්ලයි. මේ ජනප්‍රියවාදය විසින් සංවිධානය කරනු ලබන්නේ නව-ලිබරල්වාදය මගින් ජනනය කළ සමාජ කළකිරීම, විරෝධය සහ අසංතෘප්තියයි. එක් අතකින් මේ මනෝභාවය දේශපාලනිකව සංවිධානය කිරීමට පැරණි සමාජ ප්‍රජාතාන්ත්‍රික නායකත්වයන් දැන් අසමත්ය; ඒ ඔවුන් අනූව දශකයේදී නව-ලිබරල් ගතානුගතිකත්වය සමග සන්ධානගත වීම නිසාය (නිදසුන්: ටෝනි බ්ලෙයාර්ගේ තුන්වන මාවත සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකය). ජනප්‍රියවාදය ඒ හිඩැස පුරවමින් සිටී.

2017 ජනාධිපතිවරණයේදී අන්ත දක්ෂිණාංශික මරීන් ලපෙන් ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයේදී 33% ක පමණ ජන්ද ප්‍රතිශතයක් ලබා ගත්තාය; ඒ වසරේදීම ට්‍රම්ප් එක්වරම සංස්ථාපිත-විරෝධී මෙන්ම සංක්‍රමණ-විරෝධී සටන් පාඨ ඔස්සේ ‘විත් ජයග්‍රහණය කළේය; 2016 දී ප්‍රධාන ධාරාවේ පක්ෂ සියල්ලේ විරෝධය නොතකා බ්‍රිතාන්‍යයේ බහුතර ජනයා බ්‍රෙක්සිට් සම්මත කළේය. අද වනවිට ගෝලීය ධනවාදයේ දේශපාලන බලය හොබවන ප්‍රමුඛ නායකයන් රැසක්ම ප්‍රවණතාත්මක ලෙස ජාතිකවාදී ජනප්‍රියවාදීන්ය (එක්සත් ජනපදයේ ට්‍රම්ප්, චීනයේ ෂී ජින්පින්, රුසියාවේ පුටින්, ජපානයේ ෂින්ෂෝ අබේ, ඉන්දියාවේ මෝඩි යනාදී වශයෙන්…). මෙය අහම්බයක් නොවේ. නව-ලිබරල්වාදයේ අර්බුදය දේශපාලනිකව කළමණාකරණය කර ගැනීමේ දක්ෂිණාංශික උපාය මාර්ගය වී ඇත්තේ එයයි. 2008 න් පසු ලෝකය පිළිබඳ අසුබවාදී චිත්‍රයේ තවත් පැතිමානයක් නම් ධනවාදය සහ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය අතර පැවති ඓතිහාසික කසාදය අවසන් වෙමින් පැවතීමේ සලකුණු ප්‍රදර්ශණය වීමයි. චීන ධනවාදයේ නැගීම මේ ගැටළුවේ මධ්‍යයෙහිම ඇත. ෂී ජින්පින්ගේ “One Road; One Belt” ව්‍යාපෘතිය ගෝලීය හෙජමොනික උපාය මාර්ගයක කොටසක්ද යන ප්‍රශ්නය දැන් බටහිර බුද්ධි කව තුළින් ඇසෙන්නට පටන්ගෙන තිබේ.

දකුණු චීන මුහුදේදී සේම වෙනිසුවෙලාවේ අභ්‍යන්තර දේශපාලන අරගලය තුළදීද පැරණි ගෝලීය බලවතා සහ නව බලවතා එකිනෙකාගේ දෑස් දෙස බලයි. මීට සමාන්තරව ධනවාදයේ නව මාදිලිය වන්නේ දේශපාලන ඒකාධිපතීත්වය සමග අතිනත් ගත් නිදහස් වෙළඳපලවාදයද (එනම්, ලී කුවාන් යූගේ ඊනියා ආසියාතික වටිනාකම් සහිත ධනවාදයද) යන ප්‍රශ්නය දැන් ඇසෙන්නට පටන්ගෙන තිබේ. අවසන් වශයෙන්, ධනවාදී සංවර්ධනය විසින් සමස්ත මිනිස් වර්ගයාත් ජෛව ගෝලයත් විනාශයේ මුව විටට රැගෙන යමින් තිබේය යන ප්‍රවාදය දැන් සරලව නොතකා හැරිය හැක්කක් නොවේ. කාලගුණ විපර්යාසය පිළිබඳ පැරිස් සම්මුතියට අනුව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව-කාර්මික යුගයට සාපේක්ෂව තවත් සෙල්සියස් අංශක 1.5 කට වඩා වර්ධනය වුවහොත් ලෝකයේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා කාලගුණ සරණාගතයන් වීමට ඉඩ තිබේ. (ශ්‍රී ලංකාව ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ඉහළින්ම සිටින රටකි). මේ මට්ටමට උෂ්ණත්වය පාලනය කර ගන්නට නම් 2030 වසර වන විට මිනිසුන් විසින් කරන කාබන් විමෝචනය 45% කින් පහත හෙළිය යුතුය. එයින් අදහස් වන්නේ ඉදිරි දශකය තුළදී අප සංවර්ධනය පිළිබඳව රැඩිකල් ලෙසම වෙනස් දැක්මක් (ගෝලීයව) ගොඩ නගා ගත යුතු බවයි.

ශ්‍රී ලංකාව හමුවේ ඇති වියහැකියාවන් 

ශ්‍රී ලංකාව ඉහත ගෝලීය අර්බුදය තුළ ස්ථානගත වන්නේ මෙරටට අදාළ සුවිශේෂී ව්‍යුහාත්මක ගැටළු රැසක්ද දරා ගනිමිනි. පළමුව, මෙරට යටත් විජිත ධනේශ්වරය 19 වන සියවසේ අග භාගයේ සිටම ස්වකීය හෙජමොනිය (නායකත්වය) සෙසු සමාජ පංතීන් මත ස්ථාපිත කර ගැනීමට අසමත් වීමේ දීර්ඝ කාලීන අර්බුදයකට මුහුණ දී තිබේ. සිංහල ප්‍රභූ පාලක ස්ථරය සෙසු ජනවාර්ගික සහ ආගමික නායකත්වයන්ගේ සක්‍රීය හෝ අක්‍රීය කැමැත්ත දිනා ගැනීමට අසමත් වීමේ අර්බුදයක් ඇත. මේ අසමත්භාවයට පිළිතුරක් ලෙස ආදේශ වී ඇත්තේ කාලාන්තරයක් තිස්සේ ව්‍යාප්ත වූ සහ ආයතනගත වූ අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයකි. සමකාලීනව මෙරට සියළු ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග සමස්ත සිරවීමකට ලක් වී පවතී. කිසිදු කණ්ඩායමකට තනිව බලය අත්පත් කරගත නොහැකි අතර, කිසිවෙකුට අනෙකා සහමුලින්ම පරාජය කරන්නටද හැකි වී නොමැත. (මෙකල පවතින සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික අවකාශයද සරදම්ජනක ලෙස මේ සමස්ත සිරවීමේ අතුරු පලයකි). මේ අතර  පොදුවේ දේශපාලකයන්ට එරෙහි මහජන විරෝධයක්ද ගොඩ නැගෙමින් පවතින අතර අවශ්‍ය නම් එය ජනප්‍රියවාදී නව ව්‍යාපාරයක් විසින් සංවිධානය කිරීමේ ශක්‍යතාවද බැහැර කළ නොහැකිය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ජාතික ආරක්ෂක කතිකාව යළිත් ඉදිරියට ඒමද අපේක්ෂා කළ හැකිය. ඒ අනුව, දක්ෂිණාංශික ජනප්‍රියවාදයක නැගීම සඳහා යම් අවකාශයක් නිර්මාණය වෙමින් පවතී. ග්‍රාම්ස්චි පැවසූ ලෙස “දෛවයේ මිනිසුන්” ලෙස පෙනී සිටින නවතම චරිත සහ බලවේග දේශපාලන පෙතට ඇතුල් විය හැකිය; පෙර නොවූ විරූ නව සන්ධාන බිහි විය හැකිය (කොටින්ම රනිල් සහ මහින්ද අතර වුවත් පශ්චාත්-මැතිවරණ සන්ධානයක් බිහි වුවද, මම එයින් විශ්මයට පත් නොවෙමි). නමුත්, සියළු දක්ෂිණාංශික බලවේග සතුව ඇත්තේ එකම මාදිලියේ ආර්ථික පෙර දැක්මකි. එනම්, වචනයෙන් නැගෙනහිර ආසියාතික ධනවාදී මොඩලය අනුයන බව ප්‍රකාශ කරන අතර ක්‍රියාවෙන් කොන්ත්‍රාත් කාර ධනවාදයක් නඩත්තු කිරීමය. මේ කොන්ත්‍රාත්කාර ධනවාදය බටහිර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ චීනයේ අභිලාශ අතර දෝලනය විය හැකිය. ලංකාව දැනටමත් මහ බලවතුන් අතර ගෝලීය හෙජමොනික අරගලයේත් ගෝලීය ත්‍රස්තවාදයේත් ඉලක්ක බිමක් බවට පත්ව ඇති බැවින් අපගේ අනාගත ඉරණම හුදෙක් ජාතික දේශපාලනයේ සංඛ්‍යාත මගින් පමණක් වටහාගත නොහැකි වනු ඇත.

මේ සියල්ල මැද අධිෂ්ඨාන සහගත නව උපාය මාර්ගයක් සහිතව වැඩ කළ හොත් වාමාංශයට පෙර නොවූ ඉදිරි ගමනක් තිබෙන බව මගේ අදහසයි. සියළු වමේ පක්ෂ, සංවිධාන, අධ්‍යයන කව හා සංස්කෘතික එකතූන් අතර පුළුල් සහයෝගීතාවක් ගොඩ නගා ගැනීමත්, අනුග්‍රාහක දේශපාලන බැමි බිඳ හෙලීමේ උපාය මාර්ගයක් සොයා ගැනීමත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය සහ  සංස්කෘතික  ක්ෂේත්‍රය තුළ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමත්, එය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් සමග සම්බන්ධ කිරීමත් (නිදසුනක් ලෙස ක්‍ෂුද්‍ර ණය ප්‍රශ්නයට ප්‍රායෝගික විකල්පයක් ග්‍රාමීය පදනමෙන් ඉදිරිපත් කිරීම) සහ දේශපාලකයන්ට එරෙහිව ඇති පොදු විරෝධය සංවිධානය කරන ජනතාවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමත් ඉදිරි යුගයේ ජයග්‍රාහී වමේ දේශපාලනයක් සඳහා දැනට යෝජනා කළ හැකි උපායන් කිහිපයකි. ශිෂෙක් පවසන පරිදි අප දැන් වෙසෙන්නේ සමාප්ත කාලයකය (End Time); මිනිස් වර්ගයාත් සමස්ත ජෛව ගෝලයත් සුරැකීමේ අවසන් සටන (Endgame) කළ හැක්කේ නව වාමාංශික ව්‍යාපාරයකටය.