தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
සරසවි අධ්‍යාපන සමාර්ථ හිමිවූවන්ට හයමාසෙන් සරසවි අධ්‍යාපන වරම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සරසවි අධ්‍යාපන සමාර්ථ හිමිවූවන්ට හයමාසෙන් සරසවි අධ්‍යාපන වරම්!



2019 උසස්පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන් මාස 06ක් තුළ ඒ ඒ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

පවතින ක්‍රමවේදය අනුව විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් විශ්වවිද්‍යාල පළමුවසර අධ්‍යයන කටයුතුවලට ඇතුළත්කර ගැනීම සඳහා වසර 1-2 අතර කාලයක් ගත වේ. මේ වනවිටත් 2017-18 පැවති උසස්පෙළ විභාග සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය කණ්ඩායම් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්ව නොමැත. මෙම පසුබිම තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාකර උසස්පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන් මාස 06ක් තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත අතර ඒ කටයුතු ලබන ජනවාරි මස සිට ආරම්භ වේ.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොරොන්දු දුන්නේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන සියලු සිසු සිසුවියන්ට සරසවියට ඇතුළත් වීමේ පහසුකම් සපුරන බවයි. පවතින විශ්ව විද්‍යාල සීමිත පහසුකම් තත්වය නිසා මේ දක්වා උසස් අධ්‍යාපනයේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන දහස් ගණනක් විභාග අපේක්ෂක දරු දැරියන් අතුරින් සරසවි අධ්‍යාපනයට අවස්ථාව ලබාගත්තේ 30000ක් වැනි පිරිසක් පමණි. ආචාර්යවරු ඇතුළු මානව සම්පත් හිගය, දේශන ශාලා, නේවාසිකාගාර, තාක්ෂනික මෙවලම් ආදී වශයෙන් පවතින අඩුපාඩද සමගින් පවතින සරසවි අධ්‍යාපනයද දුර්වල මට්ටමක තිබෙන බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පවසති. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදතයේ 6% ප්‍රතිශතයක් වෙන්කරන තුරු මෙවැනි අඩු පහසුකම් යටතේ පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපනය දක්වා වරණයන්ට ලක්වන්නට ශිෂ්‍ය පරපුරට සිදුවන බවයි. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් වසර දශක ගණනක් ගෙන යන අරගලයේ මූලික අරමුණ වඩා අවධානයක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරමින් අවම පහසුකම් සහිත අධ්‍යාපනය ඉහළ මට්ටමකට ගෙනැවිත් සැබෑ නිදහස් අධ්‍යාපනයක් ශිෂ්‍ය ප්‍රජාවට ලබා ගැනීමය.