தமிழ்
English
Contact
Friday 14th August 2020    
සහල් මාෆියාවට ලාභ ගෙන පැනයන්නට ඉඩදී ඉස්තාලයේ දක්වන මාධ්‍ය සංදර්ශන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සහල් මාෆියාවට ලාභ ගෙන පැනයන්නට ඉඩදී ඉස්තාලයේ දක්වන මාධ්‍ය සංදර්ශන!



වසංගත සමයේ සහල් අලෙවියෙන් ලාභ ඉපදවීමට අවකාශ සලසා හදිසියේම සහල් මෝල් වෙත කඩා පනින්නට ආණ්ඩුව පියවර ගෙන ඇත.
පසුගිය කාලයේ දිගින් දිගටම වී මිලදී ගැනීමේ සිට සහල් වෙළඳපොළ පාලනය කිරීම දක්වා පැවතියේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක මාෆියාවකි. වරින්වර ජනාධිපතිවරයා මෙම කාරණය සම්බන්ධ මැදිහත්වීමේ මාධ්‍ය සංදර්ශණ දැක්වූවද සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ සහල් මාෆියාවක් රජ කරවීමය. ඒ් අතරම, සහල් මිල ඉහළ නැංවීම පාලනය කිරීමට යුද හමුදාවද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් මිලයට ගෙන ගබඩාකරන ලද බවට මාධ්‍ය හමුවේ ප්‍රචාරය කරන ලදී.

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව මාර්තු මස ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව සහල් හිඟය සහ මිල ගණන්වල අසාධාරණය සම්බන්ධ සාකච්ඡාවක් ඇති විය. ඒහිදී කුඩා පරිමාණ මෝල් හිමියන් විසින් ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සහල් මිල සාධාරණ ලෙස පවත්වාගෙන යාමට සහාය විය හැකි බව දන්වන ලදී. ඒ් අතර පාලන මිල ලෙස මිල ගණන් ප්‍රකාශ කළද සහල් ලබාගැනීමේ දුෂ්කරතා මැද ජනතාවට අධික මිලකට සහල් මිලදී ගන්නට සිදුවිය. ඒම අවස්ථාවේදී කළ යුතු මැදිහත්වීම වෙනුවට ආණ්ඩුව මාස දෙකක් තිස්සේ නිහඬතාවක් අනුගමනය කළේ අසාධාරණ ලෙස සහල් මිල පවත්වාගෙන යාමට අවකාශ සලසමිනි.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මෝල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැටලිමට ලක් කළ බව කියන්නේ ජනමාධ්‍ය විසිනි. ඒහෙත් වටලන්නට දෙයක් මෝල්වල පවතීද නැද්ද යන්න දන්නේ සහල් ව්‍යාපාරිකයන්මය. මේ දක්වා සහල් වෙළඳාම අධික ලාභ උපදවන මාර්ගයක් බවට පත්කරගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඒවැනි ‘කඩාපැනීම්’ නොදන්නා ළදරුවන්ද නොවේ. මේ දක්වා ඒවැනි කිසිවක් සිදු නොකළ ආණ්ඩුව ජනතාව මතුකරන චෝදනාවලින් ගැලවීමේ ගැලවිජ්ජා නාටකයක් විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු ලවා රංගගතකර ඇත. ඒහිදී පාරිභෝගික අධිකාරිය විසින් මාධ්‍ය කණ්ඩායම් සිය වියදමින් කැඳවාගෙන යමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය , නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි.
වාර්තාවන ආකාරයට කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල, නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද ඒකතුකරගෙන පාරිභෝගික සේවා අධිකාරියේ සභපතිවරයා ඩඩ්ලි සිරිසේන සහ සිරිපාල ගම්ලත් යන දෙදෙනොගේ වී මෝල්ද පරික්ෂාවට ලක් කර ඇත.
එහිදි වී මෝල් හිමිකරුවන් සමග සාකච්ඡාවකින් පසු, රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් වෙළද පොලට ලබාදිමට කොන්දේසි විරහිතව එකගත්වය පළකළ බවද පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති ලෙස මෑතකදී පත්කළ විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මාධ්‍ය හමුවේ පැවසීය.

ඒසේ වුවද මාස කිහිපයකට පෙර සම්බා සහ නාඩු සහල් රු. 110-120 වැනි මිලකට අලෙවි කළේ මේ මහා පරිමාණ මෝල් හිමියන් විසින් කළ මැදිහත්වීමේ ප්‍රතිඵල ලෙසය. ඒ් අවස්ථාවේදී රු. 48ට මිලදී ගත් වී තොග, සහල් කිරීමෙන් පසුව, ලාභයක්ද සහිතව රු. 85ට පමණ අලෙවි කළ හැකිව තිබුණි. නමුත් අධික ලාභ ඉපදවීමේ අරමුණ මත මිල තීරණය කරනු ලැබුවේ රු 100කටත් වැඩියෙනි. මේ ගැටලුව නිසා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් වෙද්දී ජනාධිපති ගෝඨාභය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරය කළ බවට ඡායාරූප සහිතව වාර්තා කරමින් නියම කරණ ලද පාලන මිල වූයේ රු. 98-102 අතර ගණන්ය. ඒ් අනුව, පාලන මිල යටතේද අධික ලාභයක් ඉපයූ මෝල් හිමි ධනවතුන්ට මාර්තු මස කොරෝනා වසංගතය පැමිණීමෙන් අධික ලාභ උපයන ඉල්ලමක් පහළ විය. සහල් හිගයක් ඇතිකරමින් ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන් විසින් සම්බා කිලෝවක මිල රු. 140-150 දක්වා මිල වැඩිකරද්දී ආණ්ඩුව සිදු පාලන මිලක් පවත්වාගෙන යාමට කටයුතු කළේ නැත. යුද හමුදාව මිලදී ගත් බව කියූ සහල් වෙළඳපොළට නිකුත්කළ බවක්ද වාර්තා නොවිනි. මෙවැනි මාධ්‍ය සංදර්ශන ගණනාවකින් පසුවද නැවත ‘කඩාපැනීම් සංදර්ශන’ පෙන්වන්නට ආණ්ඩුව උනන්දු වන්නේ ඇත්ත වශයෙන්ම අධික මිල ගණන් මැද දැනටමත් අලෙවිවන හා මවා ඇති සහල් හිගයෙන් තවදුරටත් ලාභ කඳුගසන සහල් මාෆියාව ගැන ‌කිසිවක් නොදන්නා ලෙසිනි.