தமிழ்
English
Contact
Sunday 31st May 2020    
කිලෝව 85ට දියහැකි සහල් 98ට සහතික මිලක්! ආණ්ඩුව සහල් මාෆියාවට යටවෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිලෝව 85ට දියහැකි සහල් 98ට සහතික මිලක්! ආණ්ඩුව සහල් මාෆියාවට යටවෙයි



වෙළඳපොළේ විකුණනු ලබන සම්බා සහ නාඩු සහල්වලට අධික ලාභ සහිතව විකිණීම සිදුවන බව ගොවි සංවිධාන පවසද්දී එම ලාභයෙන් කොටසක් අඩුකර කිලෝවක් රු. 98ට වැඩියෙන් සහල් මිලට නොගන්නා ලෙස ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

පසුගිය 18 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නාරාහේන්පිට විශේෂ ආර්ථි මධ්‍යස්ථානය වෙත ගොස් සහල් මිල ගණන් සම්බන්ධ සිය උනන්දුව හා මැදිහත්වීම මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය. ඉන් අනතුරුව සහල් ව්‍යාපාරිකයන් සමග ඇතිකරගත් එකඟතා මත පසුවදා එනම් 19වැනිදා මධ්‍යම රාත්‍රියේ නාඩු හා සම්බා සහල් සිල්ලර අලෙවිය සඳහා උපරිම සිල්ලර මිල රු. 98ක් බවට නිශ්චිත කරමින් ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත්කරන ලදී. එහෙත් ඇත්ත වශයෙන්ම කිලෝවක් රු.110 වැනි ඉහළ සිල්ලර මිලකට සහල් මිල නැංවීමට පසුබිම සකස් කරමින් කෝටි ගණන් උපයන සහල් මාෆියාව සිය ලාභ කඳුගැසීම නොනවත්වා කරගෙන යයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහෝදරයා සහ අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරුවන ඩඩ්ලි සිරිසේන කඩවතදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ සහල් මිලයට ගනිද්දී කිලෝවක් සඳහා රු. 98ට වැඩියෙන් නොගෙවන ලෙසයි. අරලිය සහල් ව්‍යාපාරිකයා ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ පැවසීය.

“නිෂ්පාදනය කරන්න අපිට නාඩු සහ සම්බා වී තොග වෙළෙඳපොළේ නැති එක ප්‍රශ්නයක්‌. සීමිත ප්‍රමාණයක්‌ තමයි තියෙන්නේ. ළඟ එන උත්සව සමයේ මේ හිඟය පියවීම සඳහා සහල් යම් ප්‍රමාණයක්‌ රටින් ගෙන්වනවා නම් හොඳයි. දැන් මේ රටේ වී වෙළෙඳපොළට එන්න තව මාස දෙකක්‌ යනවා. නැත්නම් මේ තත්ත්වය දවසින් දවස දරුණු තත්ත්වයට හැරේවි කියන එක තමයි මගේ විශ්වාසය. පිටරටින් හාල් ගෙන්වන එක හොඳයි කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ තිබෙන තත්ත්වයට විසඳුමක්‌ ලෙස යම් සහල් ප්‍රමාණයක්‌ රටින් ගෙනාවොත් හොඳයි.  ඒ වගේම මේ හැමදේම සීමාසහිතව දේශීය සහල් ගොවියා රැකගෙන කරනවා නම් හොඳයි.”

ආණ්ඩුව සමඟ පැවති සාකච්ඡාවකදී සහල් නිෂ්පාදකයන් විසින් එකඟ වූ රු. 98ක මිලකට සහල් අලෙවි කිරීම ඉදිරි දින කිහිපය තුළ විධිමත් කෙරෙන අතර මිල අඩු නොකරන වෙළෙඳුන්ට විරුද්ධව පාරිභෝගික අධිකාරියට නීති ක්‍රියාත්මක කළ හැකි බවද ඩඩ්ලි සිරිසේන පවසයි.

කෙසේවෙතත් මේ වනවිට වෙළඳපොළට නිකුත්කර ඇත්තේ කිලෝව රු.48 අතර රජයේ සහතික මිලට ගත යුතුවූ වී වලින් නිෂ්පාදිත සහල් බව ගොවි සමිති පෙන්වා දෙති. රජය විසින් එම සහතික මිලට මිලදී ගත්තේ සීමිත තොගයක් වුවද පෞද්ගලික ව්‍යාපාරිකයෝ සුපුරුදු පරිදි කුනුකොල්ලයට වී අස්වනු මිලදී ගත්හ. ඇතැම් අවස්ථාවල රු. 35-45 තරම් පහත මිල ගණන්වලට ගොවි ජනයාගේ වී අස්වනු පෞද්ගලික වී මෝල් හිමියන් විසින් මිලයට ගත් අවස්ථාද තිබිණි. රු. 48කට මිලදී ගත් වී කිලෝ 1.6කින් සහල් කිලෝවක් නිෂ්පාදනය කරමින් සාමාන්‍ය ලාභයක් සහිතව රු. 85-90 මිලකට සිල්ලර අලෙවියට සැපයිය හැකිව තිබෙන බව සහල් නිෂ්පාදනය පිළිබඳ දැනුමක් සහිත ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. එහෙත් ඩඩ්ලි සිරිසේන ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් විසින් ආණ්ඩුව සමග එකඟතා ඇතිකර ගෙන තිබෙන්නේ රු. 98ක උපරිම සිල්ලර මිලකටය. එය ඔවුන් ඇතුලු අතරමැදි සහල් ව්‍යාපාරිකයන් විසින් සහල් කිලෝවක් රු. 110ට විකුණමින් අතිශය අධික ලාභ උපයමින් සිටින තත්වය තුළ ජනයාට සහනයක් ලෙස පෙනෙන නමුත් එය තවදුරටත් අධික ලාභයක් සහිතව වෙළඳාම පවත්වාගැනීමේ කපටි සූත්‍රයක් ලෙස ගොවි නියෝජිතයෝ පෙන්වා දෙති.