Posted on 08.23.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
භීම සමයක් සිහි ගන්වමින් අත්අඩංගුවේ සිටින සැකකරුවන් හිටි හැටියේ ඝාතනයට ලක්වීම මේ වනවිට නැවත වරක් ආරම්භ වී තිබේ.
ඊයේ(22) රාත්‍රියේ මෙම ක්‍රමයට ඝාතනය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “අංගොඩ ලොක්කා”ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වු චමින්ද එදිරිසූරිය නමැත්තාය.
ලංකාවේ මෙන්ම ලෝකයේ අනීතික ලෙස මර්දනකාරී කටයුතු සිදුකිරීමේදී මෙවැනි හේතු ඉදිරිපත්ව ඇති අතර සාමාන්‍යයෙන් ලංකාවේදී මෙවැනි සැකකරු මරණ සම්බන්ධ විධිමත් විමර්ශනයක් සිදුවන්නේ නැත. අධිකරණය විසින් මරණයට අදාළව පොලිසිය ඉදිරිපත්කරන කරුණු සැකයකින් තොරව පිළිගන්නා තත්වයක් තිබේ.
පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් මරා දැමීම 1971 අරගලය මර්දනය කිරීමේදී ආරම්භ වූ මර්දන ක්රියාදාමයකි. තරුණ තරුණියන් අතුරුදන්වීම හා ටයර් සෑයවල මියයාම 1988-90 භීෂණ සමයේ එ.ජා.ප. පාලනය යටතේ දහස් ගණනින් සිදුවිය.
ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ දී සැකකරු ඊයේ රාත්‍රී 11ට පමණ පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය සැකකරු පොලීසියට වෙඩි තබා පළා යාමට උත්සාහ කළ බවත් පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා විය.
පොලිසිය පවසන්නේ ඔහු හෙරොයින් සම්බන්ධ තොරතුරු හෙළි කිරීම සඳහා කිසියම් ස්ථානයකට පොලිස් නිල රථයකින් රැගෙන යමින් සිටියදී රථයෙන් පිටතට බැසීමට අවශ්‍ය බව පවසා පොලිස් නිලධාරියෙකු සතුව තිබූ තුවක්කුවක් උදුරාගෙන එම පොලිස් නිලධාරියාට වෙඩි තැබූ බවය. පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම පොලිසිය විසින් පුහුණුව ලැබ සිදුකරන වෘත්තියමය ක්‍රියාදාමයක් ඇත. ඒහෙත් සැකකරුවන් මේ ආකාරයට කිසියම් හේතු දක්වා නිදහස්ව පැනයාමට හෝ අවි ආයුද පැහැරගැනීමට තැත්කිරීමත් ඉන්පසුව පොලිස් වෙඩිපහරකින් මියයාමත් කාලයක් තිස්සේ සිදුවන ක්රියාදාමයකි.
2005-2015 රාජපක්ෂ පාලනය යටකේ මෙවැනි සැකකරුවන් ඝාතනයවීම් දිගින් දිගටම සිදුවූ අතර සාමාන්‍ය සමාජයේ පිළිගැනීම වූයේ ඒ්වා පොලිසිය ගොතන කතා බවය. සිරමැදිරි තුළ ගෙල වැළලා ගැනීම්, හෘදයාබාධ ආදි හේතු දක්වමින් මෙවැනි සිදුවීම් ප්රශ්නකිරීමකින් තොරව සාමාන්‍යකරණය කෙරේ. කෙසේවෙතත් රගර් ක්‍රීඩක තාජුඩින් ඝාතනය මෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිදුවීම්වලදී අධිකරණ වෛද්‍ය වාර්තා පවා පක්ෂග්රාහී ලෙස සකස්කළ බවට හා අපරාධ වසන් කිරීමේ ක්‍රියාදාමයක් පැවති බවට චෝදනා එල්ල විය.
මෙවැනි සිදුවීම් දිගින් දිගටම අධිකරණය හමුවේ සාධාරණිකකරණය වුවද ජනසමාජය තුළ භීතියක් ඇතිකරවන අතරම පොලිසිය හා අධිකරණය සම්බන්ධ සත්‍ය අනාවරණය වීමක් සිදුවේ.