தமிழ்
English
Contact
Friday 16th April 2021    
සිංහරාජ ලෝක උරුම කලාපයේ වැව් හැදීමේ සැලසුමට යුනෙස්කෝවෙන් විරෝධය ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිංහරාජ ලෝක උරුම කලාපයේ වැව් හැදීමේ සැලසුමට යුනෙස්කෝවෙන් විරෝධය !



ආණ්ඩුව විසින් සැලසුම්කර ඇති හම්බන්තොට ජල යෝජනා ක්‍රමයට සිංහරාජ වනයේ ඉදි කෙරෙන ජලාශයක් සම්බන්ධ කිරීම නිසා ලෝක උරුම ස්වභාවික සම්පතක් තර්ජනයට ලක්වෙන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශකර ඇත.

මින් පෙර අනාවරණය කෙරුණු ආකාරයට ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමින් මෙම ජලාශ ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒවැනි හානිදායක ඉදිකිරීමකට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට ආණ්ඩුවේ ඉල්ලීම පැරිස් නගරයේ පිහිටි ලෝක උරුම කමිටුව වෙත යොමුකර ඇත.

සිංහරාජ වනය ආශ‍්‍රිත ජලාශ ඉදිකිරීම පිණිස අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ආණ්ඩුවෙන් යැවු ලිපියට ප්‍රතිචාර ලෙස මෙම කරුණු අවධාරනය වී ඇත. සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබෙන ජලාශය හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් 4 ක පමණ භූමි ප්‍රමාණයකට ඍජු ලෙස හානිදායක බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම ගැන ඇමතිවරයාට පෙන්වා දුන් බවත් මෙරට යුනෙස්කෝ නියෝජනය කරන ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත පවසයි.

ආණ්ඩුව විසින් සිංහරාජ වනය සිය වාණිජ සැලසුම් වෙනුවෙන් ක්‍රමානුකූලව පරිහරණය කිරීමේ දිගුකාලීන සැලැස්මක් ක්‍රියාවට නගමින් සීන බව පරිසරවේදින් හා වාමංශිකයන් චෝදනා කළේ පසුගිය කාලයේ සිංහරාජ වනය මැදින් මාර්ග ඉදිකිරීම් සිදුවන අවස්ථාවේදීමය. පළමුවරට රාජපක්ෂ පාලනය යටතේ මෙවැනි මාර්ගයක් ඉදි කිරීම නිසා සිංහරාජ වනය දෙබෑ කිරීම සිදුවන බව පවසමින් ගෙන ආ විරෝධය නොතකා හැරිණි. ඉන්පසුව ලංකාගම මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධ පසුගිය වසරේ විරා්ධය නොතකා හමුදාව යොදවා කළ ඉදිකිරීම් නිසා වනයේ විශාල විනාශයක් හා සෝදාපාලුවක් සිදුව ඇත.

එහෙත් ආණ්ඩුව ඒ සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ප්‍රදේශයේ ජනතාවට මාර්ග අවශ්‍යතා සඳහා මෙම මාර්ග සංවර්ධනය සිදුකරන බවය. අවසානයේ ලංකාගම මාර්ගය ඉදිකරනු ලබන්නේ මෙම ජලාශ ව්‍යාපෘතියේ මූළික සැපයුම් හා පවාහන කටයුතු සඳහා යටිතල පහසුකම් සැපයීමට බව හෙළිව ඇත.