தமிழ்
English
Contact
Saturday 19th June 2021    
සිනෝෆාම් එන්නත් තොගයක් ලංකාවට - මෙරට තුළ භාවිතයට තවමත් අනුමැතිය ලැබී නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිනෝෆාම් එන්නත් තොගයක් ලංකාවට – මෙරට තුළ භාවිතයට තවමත් අනුමැතිය ලැබී නැහැ



චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් (Sinopharm) එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ඊයේ (31) මෙරටට ලැබී තිබේ. නමුත් තවමත් එය මෙරට තුළ භාවිතයට අනුමැතිය ලබාදී නැත.

එම එන්නත මුලින්ම මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දීමට කටයුතු කරන බව වැවිලි ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා තිබුණි.

සිනෝෆාම් එන්නතට අදාළ සායනික පරීක්ෂණ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ යම් ප්‍රමාදයක් පවතින බවත්, සෞඛ්‍ය අංශ වෙතින් අදාළ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවේ අනෙකුත් ජන කොට්ඨාසවලටත් එම එන්නත ලබා දීමේ හැකියාවක් තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කර ඇත.

මේ අතර ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇති පරිදි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක සදහන් වන්නේ, සිනෝෆාම් එන්නත සම්බන්ධයෙන්, නිෂ්පාදන ආයතනය ලබා දුන් සියළු ලිපි ලේඛන පරීක්ෂා කර බැලීම සදහා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ස්වාධීන විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි.

එමෙන්ම, 2021 මාර්තු 17 දාතම සහිතව, සිනෝෆෂාම් එන්නත නිෂ්පාදනය කරන සමාගම විසින් ලබා දී ඇති ලිපි ලේඛන පරීක්ෂා කර බැලීමේ දී, එන්නතේ ආරක්ෂාව, එන්නතේ කාර්යක්ෂමතාව සහ එන්නත මගින් ලබා දෙන ප්‍රතිශක්තිකරණය පිළිබදව තීරණය කිරීම සදහා ප්‍රමාණවත් තරම් දත්ත නැති බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව, තමන් දැනට නිගමනය කර ඇත්තේ, මෙම එන්නත මෙරට පුරවැසියන්ට ලබා නොදිය යුතු බව යැයි ඔහු පවසයි.

සිනෝෆාම් එන්නත එරට පුරවැසියන් සදහා ලබා දීමට හොංකොන් රාජ්‍යයද මෙතෙක් කටයුතු කර නැත.